"යකඩ දෝලි" ටෙලිනාට්‍යයෙන් ඔබ හමුවට එන, Jayani Sarala Kariyawasam

සරලා කවුද කියන වග ඔබට අමුතුවෙන් හඳුන්වා දෙන්න  ඕන නැහැ. ශ්‍රී ලංකාව විතරක් නොවෙයි බොලිවුඩය මෙන්ම හොලිවුඩය ඇතුළු අන්තර්ජාතික සිනමාවටත් ඇය අමුත්තියක් නොවෙයි. ඒ හඳුනා ගැනීම සිදුවුණෙත් දීපා මේතා අධ්‍යක්‍ෂණය කළ ‘වෝටර්’ චිත‍්‍රපටයේ රඟපෑම නිසයි. මේ චිත‍්‍රපටියේ රඟපෑම නිසා සරලාට ඇමරිකාවේ පැවැති අන්තර්ජාතික සිනමා උළෙලක දී සම්මානයක් ද ලැබුණා. හැබැයි ඒ සියල්ල සිදුවුණේ මීට වසර කීපයකට පෙරදීයි. එතකොට සරලාගෙ වයස අවුරුදු 8ක් විතර ඇති. දැන්නම් එයා භද්‍ර යෞවනයේ පසුවන යෞවනියක්. ඒත් දැන් ඇය ගැන කතා කරන්නට හේතුව, නැවතත් රඟපෑමට එක්ව සිටීමයි.


වෝටර් චිත‍්‍රපටියට එදා ඔබ තෝරා ගත්තෙ කොහොම ද?




ගාල්ල සංඝමිත්තා බාලිකාවේ ඉගෙන ගනිද්දි, පාසලේ කලා අංශයේ විවිධ වැඩසටහන්වලට දායක වුණා. ඒ සියල්ලෙහි වීඩියෝ ක්ලිප් එකක් හදලා තිබුණා. කලින් ඔය වීඩියෝ ක්ලිප් එකක් දැකලා තියෙන්න ඇති. පසුව දීපා මේතා ඇන්ටි හමුවෙන්න ගියාම, පවුලේ කෙනෙක් මැරිලා කියලා හිතාගෙන අඬන්න කීවා. මම අඬලා පෙන්නුවා. වෝටර් චිත‍්‍රපටයට තෝරා ගත්තෙ ඒ විදියටයි.

එදා ඔබ එහි රඟපෑවේ ළමා වැන්දඹුවක ලෙසයි. මේ නිසා සම්පූර්ණයෙන්ම හිස බූ ගාන්න සිද්ධ වුණා. ඒ කොණ්ඩය වැවෙන්න කොච්චර කල් ගියා ද?
ඇත්තටම එදා කොණ්ඩය කපන්න එපා කියලා අම්මා කිව්වා. පාසල් යන නිසා මාත් කැමති වුණේ නැහැ. ඒත් ‘වෝටර්’ චිත‍්‍රපටයට එය අත්‍යවශ්‍ය වූ නිසා කරන්නම වුණා. හැබැයි ඉක්මනට කොණ්ඩය වැවුණා.

එදා ඒ චිත‍්‍රපටයට සම්බන්ධ වූ නළු නිළියන් අදටත් ඔබ එක්ක කතා බහේ යෙදෙනව ද?
ජෝන් ඊබ‍්‍රහිම් මහතා විශේෂිත අවස්ථාවක දී සුබ පතන්නට එහෙම කතා කරනවා. දීපා ආන්ටි ළඟ දී ආවා. එයා පුදුම වුණා. මාව බදාගෙන ගොඩක් වෙලා හිටියා. එදා හිටපු ඒ පොඩි කෙල්ල ද මේ කියලා එයා පුදුමයෙන් වගේ මා දිහා බලාගෙන හිටියා. ආයෙත් කවදාහරි වැඩක් කරමු කියලා කිව්වා. ලීසාරේ මහත්මිය රෝගාතුරව හිටියා කියලා ආරංචියි.

‘වෝටර්’ චිත‍්‍රපටයෙන් පසුව කළ දේවල් මොනවා ද?
අධ්‍යාපන කටයුතු නිසා රඟපෑම ගැන හිතුවෙ නැහැ. ඒත් සිරස ‘පුංචි පැංචි’ සහ ‘අබා’ චිත‍්‍රපටයේ පුංචි කොටසකට දායක වුණා. මෑතක දී තමයි යළිත් රඟපෑමට සම්බන්ධ වුණේ. තුසිත ද සිල්වා මහතාගේ ‘‘යකඩ දෝලි’’ ටෙලි නාට්‍යයේ රූගත කිරීම්වලට දායක වෙනවා. එය වසන්ති චතුරානි ඇන්ටිගෙ නිෂ්පාදනයක්. ‘හිරුණි’ කියන චරිතය තමයි මම රඟපාන්නෙ.

දැන් පාසල් වැඩ කටයුතු එහෙම කොහොම ද?
ගිය අවුරුද්දෙ සාමාන්‍ය පෙළ කළා. දැන් ලන්ඩන් ඒ ලෙවල් විභාගය කරන අතරේ අන්තර්ජාතික ව්‍යාපාර කළමනාකරණ අංශයේ උපාධිය සඳහා හදාරනවා.

අම්මා කාලයකට ඉහත දී ඔබගෙ හඳහන බැලූවාම, හාමුදුරුනමක් ඔබ ලෝක ප‍්‍රකට වෙනවා කියලා අනාවැකි පළ කළාලූ නේද? ඇත්ත ද?
අම්ම එහෙම කියලා තියෙනවා තමයි. ඒත් මම දැන ගත්තෙ පස්සේ දවසකයි.

‘‘යකඩ දෝලි’’ සමග දැන් දිගටම රඟපාන්න ද කල්පනාව?
හොඳ චරිත ලැබුණොත් බාර අරගෙන කරනවා.

සරලා දැන් නව යෞවනියක්නෙ. අද ඔබට ඔබ ගැන හිතන්නේ කොහොම ද?
‘සරලා’ හරිම සරල කෙනෙක්.  ඕනෑවට වැඩිය කිසිම දෙයක් ගැන හිතන්නේ නැහැ. දෙමාපියන්ගෙ කීමට අවනතව ජීවත්වන කෙනෙක්.

ඔබගෙ අරමුණ බොලිවුඩයේ රංගන ශිල්පිනියක් වීමට ද? හොලිවුඩයේ රංගන ශිල්පිනියක් වීමට ද?
බොලිවුඩයට යන්න දීපා මේතා ඇන්ටි නිසා පුළුවන් වුණා. ඒක වාසනාවක්. ඇත්තටම හොලිවුඩයට යන්න ආසයි. එදා වෝටර් රඟපාලා ඉවර වුණු හැටියෙ හොලිවුඞ් චිත‍්‍රපටයක රඟපෑමේ අවස්ථාවක් ලැබුණා. ඒත් තාත්තා කිව්වේ අධ්‍යාපන වැඩ නිසා ඒක බාර ගන්න එපා කියලයි. ඉදිරියේ දී ඒ අවස්ථාව ලැබුණොත් බාර ගන්නවා.

පවුලේ අය ගැන විස්තර කිව්වොත්?
තාත්තා ක්ෂද්‍රජීවී අංශයේ විද්‍යාඥයෙක් ලෙස කාලයක් සවුදි අරාබියේ සේවය කළා. තාත්තා සහ අයියා උපාධි දක්වා ඉගෙන ගෙන රැකියාවල නිරත වෙනවා. අම්මා අපි ඔක්කෝටම සහයෝගය ලබා දෙනවා.

අද ඔබ දකින අය හඳුනා ගන්නව ද මේ ‘සරලා’ කියලා?
මම හිතන්නේ එක පාරටම හඳුනා ගන්නෙ නැහැ. එදා පොඩියට හිටපු මම දැන් ලොකුයිනෙ.

තවත් මොනවද සරලාට කියන්න තියෙන්නෙ?
මට එදා ඉඳලා මේ දක්වා උදව් කළ හැමෝටම ස්තුතියි කියලා කියන්න කැමතියි.

සරලාගෙ පිළිසඳර අවසන එයා මොන වගේ කෙනෙක් ද කියලා අපි එයාගෙ අම්මාගෙන් ඇහුවා.
‘‘සරලා හරිම සාධාරණ නීතිගරුක කෙනෙක්. එක පාරටම තීරණ ගන්නෙ නැහැ. ගත්ත තීරණ හරි නිවැරදි බව පෙනෙනවා. ඒ වගේම ඒවා හරි සාධාරණ බව පෙනෙනවා.

හැඩගැන්වීම (සැලෝන් ගයාත‍්‍රි)

සම්පූර්ණ නම:- ජයනි සරලා කාරියවසම්
ගම:- ගාල්ල උණවටුන
වයස:- අවුරුදු 17යි.
පාසල:- සංඝමිත්තා බාලිකා (ගාල්ල)
උස:- 5’ 4’’ යි
ලග්නය:- වෘශ්චික
පවුලේ විස්තර:- අම්මා, තාත්තා, අක්කා, අයියා



උපුටගැනීම - ලංකාදීප පුවත්

සටහන/ඡායාරූප - සඳුන් ගමගේ











Gossip Lanka Hot News Previous News Archive