හඳහන්දෙණිය දොළක වතුර රතු වෙයි

අයගම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් නිකගොඩ හඳහන්දෙණිය දොළ දැනට දින දෙකක පමණ කාලයක සිට ජලය තද රතු පැහැයට හැරී ඇත.

මෙම දොළ ආරම්භ වන්නේ ජේ. ජයසේන සහ ඞී. අයිරාකාන්ති යන අයට අයත් කුඹුරු යායේ බුබුලක් මගිනි.

මහදොළ ආරම්භයේ සිටම රතු පැහැයක් දක්නට ලැබෙයි.

මේ සිද්ධිය මුලින්ම දැක ඇත්තේ අනුර නම් ප‍්‍රදේශවාසියෙකි. මේ පිළිබඳව අයගම ප‍්‍රාදේශිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ ප‍්‍රකාශකයකුගෙන් කළ විමසීමකදී ඔහු ප‍්‍රකාශ කළේ මේ වන විට ජලසාම්පල් ලබා ගෙන පරීක්ෂණ සඳහා සූදානම් කර ඇති බවයි.


ප‍්‍රදේශවාසීන්ට මෙම දොළෙන් නෑම සහ ජලය පානය නොකරන ලෙස අවවාද කළ බව ද එම නිලධාරියා පැවසුවේය.

ප‍්‍රදේශයේ වැසියකු වන ප‍්‍රසාද් වික‍්‍රමසිංහ අප සමග කියා සිටියේ අවට තේ වතුවල යොදන පොහොර ජලය මිශ‍්‍රවීමෙන් මෙම තත්ත්වය ඇති වේදැයි සැක කරන බවයි.

මෙම දොළ අසල ජීවීන් වන විශ‍්‍රාමික ග‍්‍රාම නිලධාරිනි ස්වර්ණලතා දිසානායක මහත්මිය පැවසුවේ මීට පෙර මෙවැනි සිද්ධියක් නොදුටු බවයි. මෙම ජලය බෝතලයකට ගත්විට පෙට‍්‍රල් වැනි පැහැයක් ගනී. දොළේ මාළු මැරී යාමක් දක්නට නැත. මෙම දොළ පිඹුර ගඟට එක්වෙයි.

Gossip Lanka Hot News Previous News Archive