ගණිකා වෘත්තිය නීති ගතකළ යුතු යැයි මා කීවේ පහත් මානසිකත්වයකින්වත්, කාන්තාවන්ට අපහාස කිරීමේ අදහසකින්වත් නොවේ. මා පුරුෂ අවශ්‍යතා ඉටු කිරීමට කැපවී සිටින අයෙක්. කාන්තා ගරුත්වයද අගය කරන්නෙක්. මගේ කතාව වැරැදි ආකාරයට වටහාගෙන ඇති ගීතා කුමාරසිංහ මහත්මිය 2012.12.10 වැනි දින පළ කොට තිබූ අදහස්වලට යථාර්ථවාදීව පිළිතුරු දීමට අදහස් කළේද කාන්තා පරපුරට නිසි ගරුත්වය ලබාදීමේ අදහසිනි.
දකුණු පළාත් සභා මන්ත්‍රි, නීතිඥ මේජර් අජිත් ප්‍රසන්න මහතා එසේ පැවැසුවේ විශේෂ ප්‍රකාශයක් කරමිනි.
ගීතා කුමාරසිංහ මහත්මිය නිවැරැදි කිරීම මගේ යුතුකමක්. මම ඒ මහත්මියට ගරු කරනවා. තම රංගනයෙන් හා රූපශ්‍රීයෙන් රසිකයන් පිනවීම හැම දෙනකුටම කළ නොහැකියි. ගීතා කුමාරසිංහ මහත්මිය තවමත් ඒ අන්දමින් මෙරට රසිකයන් පිනවන කාන්තාවකි. ඒ සඳහා කිසිදු තහනමක් නැහැ.
කාන්තාවන්ට අපහාසයක් වන්නේ පොලිසිය දැක්කාම දුවන්න හැංගෙන්න වූ විට නොවේද? මේ පුවත පළවූ දාම 'මව්බිම' පුවත්පතේ 13 වැනි පිටුවේ ගණිකා නිවෙසක් පැවැත්වූ ටෙලි නිළියක් රිමාන්ඩ් යන පුවතක් පළවී තිබිණි. ඔවුන් එසේ අපහාස විඳින්නේ හොරකමක්, වංචාවක් කොට නොව, පුරුෂයන්ට සේවාවක් සැපයීම නිසාය. මේ රටේ ගණිකාවන් 65,000 කට වඩා සිටින බව මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් ආචාර්ය ප්‍රතිභා මහානාම හේවා මහතා පවසා තිබුණා. ළමා රක්‍ෂක අධිකාරියේ සභාපතිනි, අනෝමා දිසානායක මහත්මිය, මේ තත්ත්වය අධ්‍යයනය කරමින් සිටින බවත්, ස්ත්‍රී දූෂණ හා ළමා අඩන්තේට්ටම්වලට මෙය ප්‍රබල හේතුවක් වී ඇති බවත් ප්‍රකාශ කර තිබුණා.
මෙය ශාරීරික අවශ්‍යතාවක්. කාටවත් වසන් කිරීමට බැහැ. විවිධ හේතූන් නිසා අවිවාහකව සිටින විශාල පිරිසක් ලිංගික තෘප්තිය ලබා ගන්නේ මේ ආකාරයෙනි. අද වන විට කොළඹ කේන්ද්‍රකරගෙන ලංකාවේ ගබ්සා කිරීම් 1,000 කට වැඩියෙන් සිදුවන බව වාර්තාවේ. මම 1999දී නීති විද්‍යාලයේ සිටියදී ගබ්සා කිරීම් නීතිගත කරන්නැයි යෝජනා කළා. ඒ හේතු දෙකක් මතයි.
1. බොහෝ මවුවරුන් තම කුඩා දැරියන් පියවරු, මාමාවරු, බාප්පලා, හා සීයලා ළඟ තබා එතෙර රැකියාවලට යනවා. බොහෝ විට මේ දැරියන් ලිංගික අපචාර යටතේ ගැබ් ගන්නවා. සමාජය කියන්නේ මේ දරු ගැබ රැක ගන්නා ලෙසයි. අවුරුදු 16 - 17 වයස්වල දැරියන් සමාජයේ නරුමයන් අතින් දූෂණයට ලක්වී ගැබ් ගන්නවා.
2. විවාහක කාන්තාවක් ගැබ්ගත් විට මන්ද බුද්ධික දරුවන් පිළිබඳව ස්කෑන් පරීක්‍ෂණ මඟින් දැනගත හැකියි. මෙවැනි දරුවන් බිහි කිරීමෙන් එම මවුපියන්ටවත් දරුවන්ටවත්, සමාජයටවත් පලක් නැහැ. සෙතක් නැහැ.
සමාජ ශෝධකයන් ලෙස පෙනී සිටින අයත් දේශපාලනඥයනුත් මේවා ගැන කතා කිරීමට බය ඇයි? සමාජයෙන් එල්ල විය හැකි චෝදනා නිසා හා මනාප ඡන්ද අඩු වෙතැයි බියෙනුයි. මනාප ගැන බියක් මට නැහැ. මගේ මානසික මට්ටම පහත් මට්ටමකට වැටිලත් නැහැ.
1815න් පසුව තමයි, අප රටේ නිදහස් ලිංගිකත්වය නැති වී තිබෙන්නේ. 'ඩේව් දුටු උඩරට රාජ්‍ය හා එහි වැටීම' නැමැති ග්‍රන්ථය යසපාල වනසිංහ මහතා පරිවර්තනය කර තිබෙනවා. එහි 160 වැනි පිටුවේ දැක්වෙන පරිදි, එකල ගෘහ ජීවිතයේ බහු භාර්යා සේවනය, බහු පුරුෂ සේවනය හා අනියම් බිරියක් තබා ගැනීම උඩරට ප්‍රදේශයේ බහුලව සිදුවී තිබෙනවා. මෙයින් කියැවෙන්නේ, අපේ සමාජයේ ලිංගිකත්වය ඉතා ස්වාධීන ලිහිල් එකක්ව පැවැති බවයි.
සංචාරක කර්මාන්තය පැත්තෙන් බලන විට, ගණිකා වෘත්තිය නීතිගත කළහොත්, වැඩි වාසි ලබාගත හැකියි. සංචාරකයන් වැඩි වශයෙන් මුදල් වැය කරන්නේ මෙවැනි දේටයි. ඔවුන් වෙබ් අඩවිවලින් සොයාගෙන එවැනි පහසුකම් ඇති රටවල් වෙත යනවා. බෞද්ධ ප්‍රතිපත්තිවලට අනුව මෙය වරදක් නම්, ඉන්දුනීසියාව, තායිලන්තය, කොරියාව වැනි බෞද්ධ රටවල්වලත් මේ තත්ත්වය පවතිනවා.
මෙය මිනිසුන්ගේ චිත්ත පීඩා මානසිකත්වය දුරු කරගත හැකි ගැඹුරින් කතා කළ යුතු දෙයකි.
ගණිකා වෘත්තිය පමණක් නොව, මේ රටේ ගබ්සා කිරීම්ද නීතිගත කළ යුතුයි. මෙයින් කාන්තාවන්ට කිසිදු අපහාසයක් එල්ල කිරීමට නොවෙයි. ඔවුන්ගේ ගරුත්වය රැකීමටයි මා අදහස් කරන්නේ.
'මව්බිම' පුවත් ඇසුරිනි
ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි පැවැසීම කාන්තාවට අපහාසයක් - Geetha Kumarasinghe