හමුදාවට බැඳුනු සමහර දෙමළ තරුණියන්ගේ දත් පූට්ටු වෙයි

රජයේ යුද හමුදාවට බඳවා ගත් දෙමල කාන්තාවන් අතරින් 15 දෙනකු හදිසියේ වැළඳුනු රෝගයක් හේතුවෙන් රෝහල් ගත කොට ඇති බව කිලිනොච්චිය දිස්ත්‍රික් වෛද්‍ය නිලධාරිවරයා පවසයි.

යුද හමුදා නිලධාරීන් පිරිසක් මෙම තරුණියන්ගේ නිවෙස්වලට පැමිණ ප්‍රකාශ කොට තිබෙන්නේ තම දියණියන්ට අමනුෂ්‍ය දෝශයක බලපෑම නිසා ඔවුන් රෝහල්ගත කළ බවයි.

රෝහල්ගතව සිටින තම දියණිය බැලීමට රෝහලට ගිය අවස්ථාවේ සිය දියණිය විකල් වූ සිහියෙන් හැසිරෙනු දුටු බව පවසන පියෙක් ඇතැමෙකුගේ දත් පූට්ටු වී ඇති අතර තවත් සමහරුන් හඬමින් සහ සිනහසෙමින් සිටිනු දුටු බවද දිනසේන රතුගමගේ ට පැවසීය.

සිය දියණිය නිවසේ සිටියදී කිසි දිනෙක මෙවැනි සිහි විකල් තත්ත්වයකට පත් නොවූ බව එම තරුණියගේ පියා අවධාරණය කරයි.

කිලිනොච්චිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් ශ්‍රීධරන් එම තරුණියන් බැලීම සඳහා රෝහලට යාමට උත්සාහ කළ නමුත් යුද හමුදාව ඒ සඳහා අවසර නොදුන් බව මන්ත්‍රීවරයා පවසයි.

කිලිනොච්චිය දිස්ත්‍රික් වෛද්‍යවරයා මන්ත්‍රීවරයාට පවසා තිබෙන්නේ තරුණියන් පිරිස දැඩි මානසික ආතතියක් මත රෝගීවී සිටින බවයි.

100 කට අධික දෙමළ කාන්තාවන් ඉකුත් මාසයේ යුද හමුදාවට බඳවා ගන්නා ලදි. ඒ අතරින් හය දෙනකු මේ වනවිට හමුදා සේවය හැර ගොස් තිබේ.

රජයේ හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් රුවන් වනිගසූරිය බීබීසී දෙමළ සේවය කල විමසීමකදී කියා සිටියේ රෝහල් ගත කොට ඇත්තේ හමුදාවට බඳවා ගනු ලැබූ තරුණියන් හත් දෙනකු පමණක් බවයි.

රෝග ලක්ෂණ හෝ ඊට හේතු තමන් නොදන්නා වග කියා සිටි බ්‍රිගේඩියර් වනිගසූරිය ප්‍රකාශ කලේ දිනකට දෙදහසක් පමණ රෝගී වීම ශ්‍රී ලංකා යුද හමුදාවේ සාමාන්‍ය සිදුවීමක් බව.

Gossip Lanka Hot News Previous News Archive