ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි පැවැසීම කාන්තාවට අපහාසයක් - Geetha Kumarasinghe

'අපේ ඇතැම් දේශපාලනඥයන්ගේ මානසික තත්ත්වය ඉතා පහත් තත්ත්වයකට වැටිලා. ගණිකා වෘත්තිය නීතිගත කරන්නැයි මේ ළඟදී කියා තිබුණා. මේක කාන්තාවන්ට කරන අපහාසයක්. මේකටද ජනතාව මේ අයට ඡන්දෙ දුන්නෙ. අපේ රටේ ජනතාව බෞද්ධ, ඉස්ලාම්, ක්‍රිස්තියානි ආගම්වලට අනුව යහපත් සංස්කෘතියකින් ජීවත් වුණා. මේ කතාව ඒ සංස්කෘතියට මරු පහරක් නේද? අපේ කාන්තාවන් මදිනම් පිටරටිනුත් ගේන්න යැයි ප්‍රකාශ කර තිබුණා."

බෙන්තර - ඇල්පිටිය ශ්‍රී ල.නි.ප. සංවිධායිකා ගීතා කුමාරසිංහ මහත්මිය මේ බව කියා සිටියේ 'එක ගමකට එක වැඩක්' යටතේ තුන්දුව මාතෘ නිවාසය පිළිසකර කොට ජනතා අයිතියට පැවැරීමෙන් පසු පැවැති ජනහමුව අමතමිනි.




'මේ රටේ රජුන් තනන්නේ කාන්තාවනුයි. අද මේ මාතෘ නිවාස ඉදි කළේත් කාන්තාවන්ටයි. අපේ රටේ වැඩිපුර ඡන්ද දෙන්නෙත් ඔවුනුයි. මහින්ද චින්තනය යටතේ ඇල්පිටිය, කහදුව, කැටපොළ, සූරියගම, තුන්දුව මාතෘ නිවාස හැදුවා. මේ වැසිකිළිවලට වතුර නැහැ. මම කිව්වොත් කියන දේ කරන කෙනෙක්. රජයෙන් බැරි වුණොත් මගේ අතින් වියදම් කරලා මේකට වතුර දෙනවා. රූපවාහිනියක් දෙනවා. පුටු දෙනවා.'

සවුදි අරාබියට ගිය අපේ සහෝදරියන් බරපතළ ගැටලුවලට මැදිවෙලා. සමහරු මැරිලා. තවත් අය කඳවුරුවල දුක් විඳිනවා. මේවාට විසඳුම් දීමට නොහැකි නම් අපේ දේශපාලනයෙන් වැඩක් නැහැ. මට මවක් පැමිණ කීවා දුව දිවි නසාගෙනලු. දැන් දින දෙකක්ලු. මිනියවත් නැතිලු. මට කොහේ හරි ගිහින් නිවාඩුවක් ගතකරනවට වඩා වටිනවා මේ ගැන ගිහින් සොයා බලන එක. මේ දුව මරා දමලාද, ස්වාභාවික මරණයක්දැයි සොයා බැලිය යුතු යැයි මම රජයට කියනවා. මේ මිනිස්සුන්ට මිනියෙ වැඩ කරගන්නවත් මුදල් නැහැ. රට යන්නෙත් ණය වෙලා. රජය වහාම මැදිහත් වී මේ ගැන සොයා බැලිය යුතුයි.'

'මම අද ගිය ගමන් තුන්දුවට බස් එකක් දානවා. ප්‍රවාහන ඇමැතිත්, ලංගම සභාපතිත් බොහොම හොඳයි. නිලධාරීන් මේ ගැන දැනුම්වත් කරන්නේ නැහැ. එහෙම නැත්නම් පෞද්ගලික බස්වලින් මුදල් ගන්නවා. මම තුන්දුවට බස් එකක් දාලා මුලින්ම මමත් ඒ බස් එකේ නැඟලා එනවා.'
බෙන්තොට ප්‍රාදේශීය සභාවේ සභාපති ගයාන් සිරිමාන්න, මන්ත්‍රිවරුන් වන සෞම්‍ය කුමාර ද සිල්වා, ප්‍රදීප් පෙරේරා, වෛද්‍ය සුරේන්ද්‍ර පුනාන්දු, විදුහල්පති ඒ.එච්.එම්. සම්සුදීන්, මොහොමඩ් සිනාන් මහත්වරුද මෙහිදී කතා කළහ.

Gossip Lanka Hot News Previous News Archive