බුදුන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන් ම කනපිට හරවල - Sunil Perera ( Gypsies)

ලංකාවේ සංගීත රසික ප‍්‍රජාවගෙන් ‘‘ජිප්සීස්’’ කියන්නෙ කවුද කියල ඇහුවොත් ඒ අය කියන්නෙ ‘‘අහිගුණ්ඨික’’ ජන කොට්ඨාශය පිළිබඳ නම් නොවෙයි. ඔවුන් ‘‘ජිප්සීස්’’ නමින් හඳුන්වන්නේ සුනිල් පෙරේරා ප‍්‍රමුඛ ‘‘ජිප්සීස්’’ සංගීත කණ්ඩායම.

 මේ සංගීත කණ්ඩායම ගීත ඇල්බමයක් නිකුත් කරන්නෙ වසර හය හතක කාල පරාසයක් අතරතුර. නමුත් ඔවුන්ගේ ගීත හැමදාමත් විඳින පිරිසක් ලාංකේය සංගීත රසික ප‍්‍රජාව අතරේ ඉන්නවා. මෙය එම සංගීත ප‍්‍රජාව සහ සමස්ථ ලාංකේය සංගීත රසික ප‍්‍රජාව වෙනුවෙන් ‘‘ජිප්සීස්’’ කණ්ඩායමේ නායක සුනිල් පෙරේරා සමඟ පුවත් වෙබ් අඩවියක්  පැවැත් වු සම්මුඛ සාකච්ඡාවකි. 


සාකච්ඡාව ආරම්භය ...

දේශපාලනික කාරණත් සාකච්චා කරන්න බලාපොරොත්තු..............


‘‘දේශපාලනය? පිස්සුද මල්ලි? දේශපාලනය කතා කරල ශත පහකට වැඩක් නෑ. කතාකරන්න විශ්ව බලය ගැන. මොකද අද මේ රටේ බහුතරයක් බෞද්ධ වුණාට බෞද්ධ දර්ශනය පිළිබඳ නිවැරදි අවබෝධයක් නෑ. ඒ නිසා තමයි අද මේ රට මේ වගේ තත්ත්වයකට පත්වෙලා තියෙන්නෙ. බුදුන්වහන්සේ කියපු දේවල් ම තමයි අද සිද්ධවෙමින් පවතින්නෙ. බුදුන්වහන්සේ දේශනා කරපු ආකාරයට ඕනෑම දෙයක් කරන ක‍්‍රමවේදයත් තිබෙනවා. ඒ ක‍්‍රමවේදයට පිටින් වැඩ කරනකොට පින පහල වෙන්නේ නෑ. ඒක තමයි ඇත්ත. ඒක වෙනස් කරන්න කාටවත් බෑ. අසරණ මිනිස්සු ගොඩක් ඉන්නව කියන්නෙ මොකක්ද? පව්කාරයො වැඩියි. මිනිස්සු බොහොම සුන්දරව ජීවත්වෙන රටවල් තියෙනවනම්, ඇයි එහෙම වෙන්නෙ? ඒ කියන්නෙ ඒ රටේ පව්කාරයො අඩුයි. ඒ නිසා මේක ආදේශ කරන්න බෞද්ධ දර්ශනයට.

මම කතෝලික. ඒවුණාට මම බෞද්ධ දර්ශනය ගැන ගොඩක් කියවල තියනව. හැබැයි බොරු බුද්ධාගම ලියපුවා නෙවෙයි. ඇත්ත බෞද්ධ දර්ශනය ගැන ලියපුවා. සමහර සංඝයා වහන්සේල බොරු බුද්ධාගම ලියල තියනවා. ඒ පොතුත් මගේ ළඟ තියනවා. ඒවයෙ තියෙන්නෙ මොනවද? පින් ඇති වෙන්න නම් බුදු පිළිම නෙලන්න, සංඝයා වහන්සේලාට අටපිරිකර පූජා කරන්න. පිච්ච මල් අසූහාරදාහක් පූජ කරන්න. මේව තනිකර ම පච. ඒ එක් එක් අය, මෝඩ මිනිස්සු තමන් වෙත ආකර්ෂණය කරගන්න කියන දේවල්.’’

ඔබ පින් පව් දෙකක් පිළිබඳව සඳහන් කළා. මම කැමතියි මේ පින පව දෙක පිළිබඳව විග‍්‍රහයක් කරනවනම්.

‘‘පින් පව් ද? හරිම ලේසියි විග‍්‍රහ කරන්න. ඔයා අද ගෙවන ජිවිතය ඔයාට ලැබිල තියෙන්නෙ ඔයා කරපු පින් පව් අනුව. ඔයාට ළමයි ඉන්නව නම්, ඔයා ඒ ළමයින්ට විතරක් දේවල් කරල වැඩක් නෑ. නැති බැරි අසරණ ළමයි වෙනුවෙනුත් යමක් කරන්න ඕන. ඔයාටයි බිරිඳටයි හොඳින් ජිවත් වෙන්න ඕන නම් වෙනත් පවුල්වල අයටත් උදව් කරන්න ඕන. පවුලෙන් පිටස්තර බාහිර අයට උදව් කරන්න ඕන. පන්සලටයි බුදුන් වහන්සේටයි නෙවෙයි. පල්ලියටයි ජේසුස්ටයි නෙවෙයි. නැති බැරි මිනිස්සුන්ට උදව් කරන්න ඕන. 

බුදුන් වහන්සේ කොහේද කියල තියෙන්නෙ උන්වහන්සේට මල් පූජ කරන්න කියල. උන්වහන්සේ කොහේවත් එහෙම දෙයක් කියල නෑ. තමන් බුදුන්ට ගරු කිරිමක් තියනවනම් එක මලක් පූජ කරන්න. නමුත් අපේ මිනිස්සු මොකද කරන්නෙ? කැලේ තියන ඔක්කෝම මල් ටික කඩාගෙන ඇවිල්ල බුදුන් වහන්සේට පූජා කරනව. මල් අසූහාර දාහෙ පූජා පවත්වනව. දෙයියනේ... මල් අසූහාරදාහක් කැඩුවම: සමනලයො, මීමැස්සො, බඹරු ජිවත්වෙන්නෙ කොහොම ද? අපි ඔවුන්ට ජිවත්වෙන්න තියන දේ උදුරගන්නවා. ඉතිං එක් සත්වයකුගේ ජිවත්වීමේ අයිතිය උදුරාගෙන පින් කරාට වැඩක් තියනවද?

පින පව දෙකෙන් තරාදිය එක පැත්තකට පින් දාල පින් පැත්ත වැඩිකර ගන්න ඕන. අඩුම තරමෙන් සමබර කරගන්නවත් උත්සාහ ගන්න ඕන. නමුත් මේක ඔය කියන තරම් පුන්‍යවන්ත භූමියක් ද? නෑ. මම අදත් දැක්ක පත්තරේ තියනව රට යන්න සල්ලි අරගෙන වංචා කරපු කෙනෙක් සම්බන්ධව. රට යන්න සල්ලි ගන්නෙ මෙහේ ඉන්න බැරි නිසානෙ. ‘සසර වසනතුරු නිවන් දකින තුරු මතු උපදින්නට හේතු වාසනා වේවා’ කියල ලියල තිබුනට. ගායනා කළාට නිවන් දකින තුරු කොහොම වෙතත් මේ ආත්මෙදිවත් මේ රටේ ඉන්න, විසා නැතුව හෝ ඇතුව රටයන මේ ළමයි කැමති වෙයිද?’’


 අපි ඒ කාලෙ බොහොම ආශාවෙන් අහපු ගීතයක් තමයි ‘‘ඔබ දුටු ඒ මුල් දිනේ’’ ගීතය. නමුත් අද ඒ ගීතය ඇහෙන්නෙ නෑ. අද තරුණ පරපුරේ බොහෝ දෙනෙක් දන්නෙ නැහැ සුනිල් පෙරේර එබඳු ගීතයක් ගායනා කළ බවවත්. අද හුඟක් ජනප‍්‍රිය වෙලා තියෙන්නෙ‘‘ඇයි’’ ගීතය. ඇත්තට ම එහෙම වුණේ ඇයි?

‘‘තරුණ කාලෙදි ගැහැනු පිරිමි බේදයකින් තොරව ආදර ගීතවලට ආකර්ෂණය වෙනවනෙ. ඒක සාමාන්‍ය දෙයක්. මට මතකයි ඒ කාලෙ මිල්ටන් මල්ලවආරච්චිගෙ ගීතවලට කෙල්ලො වහවැටිල හිටිය. මේ කියන්නේ 75-76 වගේ කාලෙ. එතකොට අපිත් බැලූව ඒ අයගෙ ආකර්ෂණය ගන්නනම් අපිත් ඒ වගේ ගීත ගායනා කරන්න ඕන කියල. නමුත් පස්සෙතමයි වැටහුනේ ඒක අපේ අනණ්‍යතාව නෙවෙයි කියල’’

ඒ කියන්නෙ ඔබ ඇතුළු කණ්ඩායමට රසික ප‍්‍රතිචාර ලැබුනෙ නැද්ද?

‘‘නෑ කිසිම දෙයක් වුණේ නෑ. ඒක හරියට අර අපි අකමැති දෙයක් දෙමාපියන්ගෙ බලකිරිම උඩ කරනව වගේ. මම බලාපොරොත්තු වුණේ මිල්ටන් මල්ලවආරච්චිට වගේ මටත් තරුණියො ආකර්ෂණය වෙයි කියල. නමුත් එහෙම වුණේ නැහැ. ඒ සමහරවිට මගේ ආකර්ෂණීය පෙනුමක් නොතිබුණ නිසා වෙන්න ඇති. අපේ අයියටනම් කෙල්ලො වශී වෙලා හිටිය. නමුත් ‘නෝනෙ මගෙ සුදු නෝනෙ’ ගීතය ජනප‍්‍රිය වුණා. එතනදි අපි තේරුම් ගත්තා රේස් එකක් දුවනවනම් වැඩි පිරිසක් සහභාගිවෙන තර`ගයකට නොගිහින් අඩු පිරිසක් සහභාගිවෙන තර`ගයකට ඉදිරිපත් වෙන්න ඕන කියල. ඒ කාලෙත් අද වගේම ආදර ගීතවලට ඉල්ලූම වැඩියි. ගායනා කරන පිරිස වැඩියි. ඒ නිසා තමයි පස්සෙ ආපු: පියාඹන පීරිසිය, ඕජායේ, පිටි කොටපන් නෝනේ වගේ ගීත ජනප‍්‍රිය වුණේ. එතන තර`ගකාරිත්වය අඩුයිනෙ.’’

නමුත් බහුතරයක් රසික ප‍්‍රජාව ඔය ගීත අනුමත කළේ නැහැ. ප‍්‍රබුද්ධ සහ පීචං වශයෙන් කොටස් දෙකකට බෙදිල ඔබේ කණ්ඩායමේ ගීත පරිභවයට ලක් කළා. ඒ සම්බන්ධයෙන් ඔබ දරන මතය?

‘‘ඒක තනිකර ම මාර්කට් ෂෙයාර් එකක්. මාර්කට් ෂෙයාර් එක කාටවත් සියයට සියයක් ලැබෙන්නෙ නෑ. ගීත පමණක් නෙවෙයි: ඇඳුම් පැළඳුම්, ආහාර-පාන මේ කිසිවක් සඳහා සියයට සියයක මාර්කට් ෂෙයාර් එකක් නෑ. ගායක ගායිකාවන් ට එහෙමත් නැත්නම් නළු නිළියන්ට වුනත් ඒ වගේ තමයි. ජිප්සීස්ලට වුනත් අන්න ඒවගේ තමයි. තියෙන්නෙ මාර්කට් ෂෙයාර් එකක් විතරයි. සම්පූර්ණ මාර්කට් එක අල්ලන්න අපිට බෑ. අපිට විතරක් නෙවෙයි ඔය කියන ප‍්‍රබුද්ධයින්ටත් ඒක බෑ. මේ පොදු සාධකය අපි හැමෝ ම පිළිගන්න ඕන.’’

ඔබේ ඇතැම් ගීත වෙනත් සංගීත කණ්ඩායම් විසින් ගායනා කරනවා. මේ පිළිබඳවත් සමාජයේ විවිධ මත පවතිනවා.

‘‘+++. මම වඩාත් කැමති බෙදාගෙන කන්න. ඒක නිසා අලූත් පරපුරේ දරුවො අපේ දේ අගයකරනවනම් අපි ඒ අයට උදව් කරන්න ඕන. මගේ පුතාට වුනත් මම කියල තියෙන්නෙ තාත්ත කරපු දේවල්වලින් හොඳ දේ විතරක් තෝරගන්න කියල. අපි කරපු දේවල්වලින් සියයට සියක් ම නිවැරදි නෑ. ඒ නිසා අපේ දරුවො අපි කරපු හොඳදේ විතරක් කරන්න ඕන. අඬුවක් නැති නිසා මම අතපුච්ච ගත්තට එයා අතපුච්ච ගන්න ඕන නැ. දැන් ඒ පරපුරට ඕන තරම් අඬු තියනවා. වර්තමාන පරපුර අපිට වඩා හුඟාක් දක්ෂයි. ඒ අය ප‍්‍රයෝජනයට ගන්න ඕන ඒ දක්ෂතාව මිසක් අපි කරපු අදක්ෂ වැඩ නෙවෙයි.’’

ඔබේ ගීත නව පරපුරේ අය විකෘති කරල ගායනා කරනව කියල චෝදනාවක් තියනවා නේ ද?

‘‘ඔව්. එහෙම චෝදනා තියනවා. ඒ අයට මම කියන්නෙ අලූත් පරම්පරාවේ අය ඒ ගීතය රසවිඳින් බැරි විදියට ඉදිරිපත් කරල තියනවනම් ඒක ගන්නෙ නැතුව අපේ ඔරිජිනල් එක ගන්න. ඒකත් මාර්කට් එකේ තියනවනෙ. ඇයි නරක දේ ගන්නෙ? හොඳ දේ තෝරගන්කො’’

ඔබේ ඇතැම් ගීත වගේ ම ඇතැම් ප‍්‍රකාශ බොහොම ආන්දෝලනාත්මක ය යන මතයක් සමාජයේ පවතිනවා. ඒක ඇත්තද?

‘‘තනිකර ම බොරුවක්නෙ මල්ලි. ඕක සාපේක්ෂ දෙයක්. ඇත්ත පවතින තැනක බොරුවක් කිව්වොත්: අන්න ඒක ආන්දෝලනාත්මකයි. නමුත් අපේ රටේ වැඩිපුර තියෙන්නෙ බොරුවනෙ. ඉතිං ඇත්තක් කියපු ගමන්, එහෙම නැත්නම් හරි දෙයක් කරපු ගමන් කියනව ‘අම්මට සිරි අරු මාර වැඩක්නෙ කරල තියෙන්නනෙ’ කියල. ඇත්තටම ඒක මාර වැඩක් නෙවෙයි. තියන බොරුව පෙන්නපු එක එහෙමත් නැත්නම් කරපු හොරකම හෙළිදරව් කරපු එක විතරයි. හොඳම උදාහරණය තමයි කුමාර් සංගක්කාරගෙ ප‍්‍රකාශය. එයා වගේ වෙන කිසිම කෙනෙක් ඉල්ලා අස්වුණේ නෑ.

වැරැද්ද පිළිගත්තෙ නෑ. වැරැද්ද පිළිගත්ත ගමන්: අන්න ඒක ආන්දෝලනාත්මකයි. පහුගිය කාලෙ ඉන්දියාවේ ප‍්‍රවාහන ඇමති ඉල්ලා අස්වුණා. ඒක ආන්දෝලනාත්මක වුණාද?. නෑ. මොකද ඒ රටවල එහෙම තමයි. නමුත් අපේ රටේ?’’

ඔබ අපිට යෝජනා කළේ දේශපාලනය කතා කරන්න එපා කියල. නමුත් ඔබත් පසුගිය දවසක බරපතල දේශපාලන හස්තයක ග‍්‍රහණයට නතු වුණා. එහෙම වුනේ ඇයි?

මල්ලි... ඔයා මගෙත් එක්ක අමනාප වෙන්න එපා. එය ප‍්‍රශ්නෙ අහන්න ඕන අදාළ දේශපාලනඥයගෙන් ම තමයි. මොකද මම කැමතියි දේශපාලනඥයන්ට වඩා ඔයාල වගේ අය ඇසුරු කරන්න. ඒ නිසා අපි ඒ ගැන කතා නොකර ඉඳිමු.

ඇතැම් මාධ්‍යවේදින් කියනවා ඔබ පත්තරකාරයොත් එක්ක අමනාපයි කියල. ඒක ඇත්තක් ද?

‘‘ ඕකත් සාපේක්‍ෂයි මල්ලි. දැන් බලන්න අද පත්තර බහුතරයක ලියන්නෙ කොහොමද? මේක සිංහල බෞද්ධ රට. මේකෙ ජිවත් වෙන්න ඕන සිංහල බෞද්ධයින්ට ඕන විදියට. බුදු හාමුදුරුවො කොතනකවත් කියල තියනවද අහවලාට පළමු තැන දෙන්න, අහවල් ආගමට පළමු තැන දෙන්න, අහවල් භාෂාවට පළමු තැන දෙන්න කියල. නෑ. බුදුන් වහන්සේ දේශනා කළේ සියලූ සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියල. නමුත් අපේ මාධ්‍ය එහෙම කියනවද? නෑ. ලියනවද?

 නෑ. බුදුන් වහන්සේගේ ධර්මය සම්පූර්ණයෙන් ම කනපිට හරවල තමයි මේ මාධ්‍ය ලියන්නෙ කියන්නෙ. අන්න ඒකයි මගේ මාධ්‍ය පිළිබඳ පැහැදීමක් නැත්තෙ. සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර්, බෞද්ධ, හින්දු, කතෝලික මේ හැමෝ ම එකට ජිවත් විය යුතුයි. අපි හැමෝම ලාංකික ජාතියක් විදියට නැගී සිටිය යුතුයි. ඒකයි මම ලිවුවෙ සහ කිවුවෙ:

ලොවේ සැමා එකම දැයේ දූ දරුවන් වේවා
වාද නැතී බේද නැතී ලස්සන ලොව හෙට අපට උදාවේවා’
කියල’’
ජයසිරි අලවත්ත -theindependent

Gossip Lanka Hot News Previous News Archive