වන්දි මුදල ගෙවීමෙන් සතුටු වූ බව පවසන ව්‍යාපාරික එස්.පී. සින්ග් ඔබරෝයි |
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ හිස ගසා දැමීමට නියමිතව සිටි ඉන්දියානුවන් දාහත් දෙනකුට දිවි ගලවා ගැනීමට හැකිවී තිබේ.එරට සේවය කරමින් සිටියදී පාකිස්ථාන් ජාතියකු මරා දැමීමේ චෝදනාවට මරණ දඩුවම නියම වූ ඔවුහු දානපතියකු විසින් ලේ මිල වන්දි ගෙවීමට ඉදිරිපත්වීම නිසා නිදහස ලැබූහ.ඉන්දියාවේ සිට අරාබි එමීර් රාජ්‍යයේ සේවයට ගොස් සිටි ඔවුන් 2010 මාර්තු මාසයේදී මරණ දඩුවමට ලක් විය.
2009 වසරේදී මත්පැන් භාවිතා කිරීමේදී ඇතිවූ ආරවුලක් ඇවිලී යාමෙන් හටගත් ගැටුමකදී පාකිස්ථාන් ජාතික මිස්රි ඛාන් මරා දැමීමට ඔවුන් වරදකරුවන් බව ඉස්ලාම් ෂරියා නීතිය ක්‍රියාත්මක වන අධිකරණයක් විසින් තීන්දු කෙරිණ.ලේ මිල හෙවත් 'දියා' වන්දිය මරණයට පත්වූ පාකිස්ථානු ජාතිකයාගේ පවුලේ සාමාජිකයන් වෙත ගෙවීමෙන් පසු සාජාහි අධිකරණයක් විසින් මේ පිරිස නිදහස් කරනු ලැබුහ.
නිදහස ලැබූ ඔවුන් දැන් ඉන්දියාවට ගොස් සිටින අතර 28 හැවිරිදි කුල්දීප් සින්ග් පැවසුවේ සිර කඳවුරේ සිටියදී ඔහුගේ සොහොයුරෙකු මිය ගිය බවයි. එය විශාල කම්පනයක් වූ බව කියා සිටි ඔහු තමා ආපසු නිවසට පැමිණියේ වසර පහමාරකට පසුව යැයි ප්‍රකාශ කළේය.මරණයට නියමිතව සිටි ඉන්දීය පිරිස බේරාගත් , ඩුබායිහි ව්‍යාපාරිකයකු වන ඉන්දීය ජාතික එස්.පී. සින්ග් ඔබරෝයි බීබීසියට පැවසුවේ තම උත්සාහයෙන් යහපත් ප්‍රතිපලයක් ලැබීම ගැන සතුටුවන බවයි.