පොල් නඩුව ඉල්ලා අස්කර ගනී

පසුගිය දා පොල් ගෙඩි 08ක් සොරකම් කිරීම සම්බන්ධව වයස අවුරුදු 13 ක දැරියකට එරෙහිව හොරණ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පනවා තිබ නඩුව ඉල්ලා අස්කර ගනීයි.හොරණ ප්‍රධාන මහේස්ත්‍රාත් මහින්ද රණසිංහ මහතා හමුවේ මෙම නඩුව අද (11)කැදවු අවස්ථාවේ පැමිණිලි ගොනුකර තීබු පොලීසිය විසින් මෙම නඩුව ඉල්ලා අස්කරගත් බව අප වාර්තාකරු සදහන් කරයි.
පාසැලේ තීන්ත ආලේප කරීමට අවශ්‍ය මුදල් සොයැගැනීම සදහා මෙම දැරිය රුපියල් 320 ක් වටිනා පොල් ගෙඩි 8ක් සොරකම් කළ බවට චෝදනාවට ලක්විය.මේ පිලිබදව කැබිනට් මණ්ඩලයේද අවධානය යොමුවු අතර රටේම කථාබහට ලක්විය.

මෙම දැරිය අධිකරණයට ඉදිරිපත් කිරිම පිලිබදව ඇතමුන් පොලීසියට චෝදනා කර තිබිණ.එහිදී පොලිසිය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කලේ පොලීසිය නීතියට අනුව කටයුතු කළ බවයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ට පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කලේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 367 වගන්තියේ දඩුවම් ලැබිය හැකි සොරකම් නැමැති වරද පොලිස් ස්ථානය මගින් කිසිසේත්ම සමථ කල නොහැකි වරදක් වන අතර අත්අඩංගුවට ගත් අයෙකු‍ට ඇප දීමට පොලිස් ස්ථානාධිපතිට බලතල නැති බවයි.

පාසල් සිසුවියක් අධිකරණයට ඉදිරිපත් කිරීම ගැන විමර්ශන වාර්තාව

පාසල් සිසුවියක් පසුගියදා අසල්වාසී වෙනත් අයෙකුගේ ඉඩමකින් පොල් ගෙඩි කිහිපයක් අහුලා ගැනීමට එරෙහිව එම අයිතිකරු හොරණ පොලීසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ලද විමර්ශන වර්තාව පහත සඳහන් වේ.



බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුව

කොළඹ 07.
2013.02.08.

විමර්ශන වාර්තාව

01. හොරණ ශ්‍රී මේධංකර විද්‍යාලයේ 8 ශ්‍රේණියේ සිසුවියක විසින් 2013 පෙබරවාරි 04 දින අසල්වාසී වෙනත් අයෙකුගේ ඉඩමකින් පොල් ගෙඩි කිහිපයක් අහුලා ගැනීමට එරෙහිව එම ඉඩමේ අයිතිකරු විසින් හොරණ පොලීසියට පැමිණිලි කර ඇත. පොලිස් විමර්ශනවලදී ඊට හේතුව වශයෙන් එම සිසුවිය විසින් ප්‍රකාශ කරනු ලැබ ඇත්තේ තීන්ත ගෑමේ කටයුතු සඳහා රු. 800.00ක් ගෙන එන ලෙසට පාසලෙන් දැන්වූ නිසා එම මුදල සොයා ගැනීමට මෙසේ පොල් අහුලා ගත් බවයි.

02. මේ පිළිබඳව විමර්ශනයක් 2013 – 02 – 08 දින පහත නම් සඳහන් නිලධාරීන් විසින් සිදු කරන ලදී.
1. පී. එන්. අයිලප්පෙරුම / බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ

2. යූ. වී. මොලි කාන්ති මිය / හොරණ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ

3. ජී. ඩී. රංජිත් පේමසිරි / සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පාසල් පාලන) හොරණ කලාපය

4. ඩබ්. ඒ.පී. විජේතුංග මිය / හොරණ කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂ

03. 2013 නව පාසල් වාරය ආරම්භවීමෙන් පසු 2012-01-08 දින ඉහත සඳහන් ශිෂ්‍යාව ඉගෙන ගන්නා පන්තියේ පන්ති කව රැස්වීමක් පවත්වා ඇත. එම රැස්වීමේ දී, පැමිණ සිටි දෙමාපියන් විසින් තම දරුවන්ගේ පන්ති කාමරයට වානේ අල්මාරියක් ලබා දීමටත් ඩෙස්ක් කිහිපයක් ලබා දීමටත් සියලුම ඩෙස්ක් හා පුටුවල අවශ්‍ය අලුත් වැඩියා කිරීම් කර තීන්ත ආලේප කර දීමටත් තීරණය කරනු ලැබ ඇත. මේ සඳහා එක් අයෙකුගෙන් රු. 800.00 බැගින් එකතු කිරීමට ද දෙමාපියන් විසින් තීරණය කරනු ලැබ ඇත. එසේ වුවද ආර්ථික දුෂ්කරතා ඇති දෙමාපියන් කිහිප දෙනෙකු මුදල් දීමේ අවශ්‍යතාවෙන් නිදහස් කර ඇති අතර තව සමහරෙක් මුදල් ලබා දී නැත.

ඉහත සිසුවියගේ දෙමාපියන් ද මුදල් දීමේ අවශ්‍යතාවෙන් නිදහස් කර ඇත.

පන්ති කවයේ දෙමාපියන් මේ පිළිබඳව විදුහල්පතිතුමාට දැන්වූ විට විදුහල්පතිතුමා ඊට එකඟතාව ලබා දී ඇත.

යෝජනා කර ගත් කටයුතු දින කිහිපයක් ඇතුළත විට අවසන් කර ඇත.

04. ඉහත සිසුවියගේ දෙමාපියන් මෙම පන්ති කව රැස්වීමට පැමිණ නැත. පාසලේ දෙමාපිය රැස්වීම්වලට මෙම සිසුවියගේ දෙමාපියන් පැමිණෙන්නේ කලාතුරකින් බව ද වාර්තා වී ඇත.

05. මෙම පවුලේ දරුවන් පාසලට පැමිණීම දුර්වල නිසා විදුහල්පතිවරයා විසින් 2012 වර්ෂයේ දී ආදි සිසුවෙකුගේ සහය ඇතිව අදාළ ග්‍රාම නිලධාරිවරයා ද සම්බන්ධ කරගෙන රු. 13,000.00කට අධික වටිනාකමක් ඇති පාසල් උපකරණ දරුවාගේ ගෙදරට ගෙන ගොස් පරිත්‍යාග කර ඇත. ඊට අතිරේකව පොත් බෑගයක් ලබා දී ඇති අතර දෛනිකව නොමිලේ කිරි වීදුරුවක් ද පාසලෙන් දීමට කටයුතු සලස්වා ඇත. තම පවුලේ දරුවන් පාසලට ගෙන්වා ගැනීම සඳහා පාසලෙන් ආධාර උපකාර ලැබුණු බව දරුවාගේ මව පිළිගනී.

මෙම සිසුවිගේ පැමිණීම, හැසිරීම හා අධ්‍යාපන සාධනය පිළිබඳව 2006 වර්ෂයේ සිට මේ දක්වා චර්යා සටහන් වාර්තා ද පාසලේ පවත්වාගෙන එනු ලැබේ.

06. අදාළ ග්‍රාම නිලධාරිවරයාගේ නිර්දේශය අනුව මෙම දරුවාගෙන් මාසික පහසුකම් හා සේවා ගාස්තු අය කීරීමද නොකළ බව විදුහල්පතිවරයා පවසයි. දරුවාගේ මවද එය පිළිගනී.

07. 2013 නව පාසල් වාරය ආරම්භ වීමෙන් පසු මෙම සිසුවිය මුල්වරට පාසලට පැමිණ ඇත්තේ ජනවාරි මාසයේ අවසානයේ දින 3ක දී පමණි. ඒ වන විට පන්ති කවයේ දී ගත් තීරණවලට අදාළ කටයුතු සියල්ල අවසන් වී ඇත. එම නිසා තීන්ත ගෑමේ කටයුතු සඳහා රු. 800.00ක් ගෙන එන ලෙසට පාසලෙන් දැන් වූ නිසා එම මුදල සොයා ගැනීමට මෙසේ 2012 පෙබරවාරි 04 දින වෙනත් අයෙකුගේ ඉඩමකින් පොල් ගෙඩි කිහිපයක් අහුලා ගත් බවට සිසුවිය කර තිබෙන ප්‍රකාශය සත්‍යයෙන් තොර වේ.

08. මෙම සිද්ධියෙන් පසුව ද මෙම සිසුවියට බාධාවකින් තොරව තම පාසල් අධ්‍යාපන කටයුතු කරගෙන යාමට හැකි පරිසරයක් සකස් කරන ලෙසට හා උපදේශන කටයුතු කරන ලෙසට විදුහල්පතිවරයාට, අංශ ප්‍රධානීන්ට හා පන්ති භාර ආචාර්ය මහත්මියට උපදෙස් දෙන ලදී.

09. බස්නාහිර පළාත් සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන සුපසන් නිම්තෙර අධ්‍යාපන සංවර්ධන වැඩ සටහන යටතේ හොරණ ශ්‍රී මේධංකර විද්‍යාලයේ ගොඩනැගිලි තීන්ත ආලේප කිරීමේ කටයුතු සඳහා රු. 150,000.00ක් ද 2012 වර්ෂයේ දී ලබා දී ඇත.

පී. එන්. අයිලප්පෙරුම

බස්නාහිර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ
-සබැදි පුවත්- 
3.දැරිය නිදොස් කරන්න පොලිසියට බැරිලු
 Alleged robbery of coconuts by student - case withdrawn

Gossip Lanka Hot News Previous News Archive