මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතාගේ අභියෝගය භාර ගනිමින් ගුරුකම් දන්නා පොඩි හාමුදුරු නමක් මව්බිම පුවත් පතට ලබා දී ඇති අදහස් ඇතුලත් ලිපිය පහත පරිදි වේ.
ගුරුකම පූජනීයයි. ඒ පූජනීය ගුරුකමෙන් කළ යුත්තේ පූජනීය දේවල් විතරයි. එතකොට මොනවද මේ පූජනීය දේවල්. ඒ තමයි යහපත. මේ යහපත කවුරු වෙනුවෙන්ද? සියලු සතා, සිවුපාවුන්, ගහකොළ සඳහායි. ඒකෙ තේරුම ජීවත් කරවීමයි.
මේ විදියට ජීවත් කරවන්න ඕන වෙන්නෙ කවුද?
ජීවිතය අපහසුවෙන් ගෙවන අය.එහෙනම් අපි පිළිගත යුතු එක් කරුණක් තිබෙනවා. ඒ මෙලොව ඇති යම් ශාස්ත්‍රයක් වේද, ඒ ශාස්ත්‍රය තුළ යම් ක්‍රියාවක් වේද, ඒ යම් ක්‍රියාව ක්‍රියාත්මක වේද, ක්‍රියාත්මක කරවන්නේද, එසේ කරන සියල්ල අර මුලින් කිව් සතා, සීපාවා ගහකොළ ජීවත් කරවන්නක් විය යුතුයි.
මේ දේ අපිට කියාදුන්නෙ අපේ සම්මා සම්බුදු රජාණන් වහන්සේ. මම උන්වහන්සේගේ බුද්ධ පුත්‍රයෙක්. උන්වහන්සේ ලෝ සත වෙත සෙත සඳහා දෙසාහළ වදාළ බුදුමඟ, බුද්ධ ධර්මය ඇසුරෙන් ජීවිතය දිනුවෙක්.
මම එහෙම කියන කොට ගොඩාක් දෙනෙක් මගෙන් අහන ප්‍රශ්නයක් තියෙනවා. ඒ ප්‍රශ්නෙ මේකයි.
බුද්ධ පුත්‍රයෙක් වෙලත් ඇයි ඔබ වහන්සේ ගුරුකම් කරන්නේ.මට ඒකට දෙන්න තියෙන්නෙ සරල පිළිතුරක්.
මගේ මතය නම් ගුරුකම යහපත සඳහා තියෙන්නක් නම්, ඒ යහපතින් ලෝසත වෙතට සෙත සැලසීමේ වරදක් නැත යන්නයි.මම බුද්ධ පුත්‍රයෙක් විදියට බුදු දහමින් ලෝකය සනසනවා වගේම ගුරුකම්වලිනුත් ලෝකය සනසනවා. ඒ සනසන ලෝකයේ සියලු සත්ත්වයන් දුක් කරදරවලින් යම් තරමකට අත් මිදෙනවා නම් එයයි මගේ සැපත.
ඇයි ගුරුකම ඕන වෙන්නෙ කියලා ඇහුවොත් ඒකට දෙන්න තියෙන එකම උත්තරය තමයි ඇයි මිනිසුන් ගුරුකම ඉල්ලන්නෙ කියන එක.
මේ පංචේන්ද්‍රිය ඇතුළෙ එක එක ලෙඩ රෝග තියෙනවා කියන එක ඇත්තක්. මේ ලෙඩ රෝග කොටස් දෙකයි. එකක් මානසික රෝග. අනෙක කායික රෝග. මේ ශරීරය ඇතුළෙ එක එක ලෙඩ හැදෙන්න පටන් ගත්තම මේ ලෝකය පුරා අතීතයේ වැඩ වාසය කරපු සෘෂිවරු ඒ ගැන සොයා බැලුවා. ඒකට උත්තර හෙව්වා. ඒ ලෙඩ රෝග සමනය කරන්න ප්‍රතිකාර හෙව්වා.
මේ ඒ ගැන පුංචි උදාහරණයක්.
වරක් ආනන්ද හාමුදුරුවන්ට රොඩී බන්ධනයක් කළා පිණ්ඩපාතෙ වඩිද්දී. ආනන්ද හාමුදුරුවො එක ගෙදරකට ගිහින් පිපාසය සිංසිඳුවා ගන්න පැන් වීදුරුවක් ඉල්ලුවා. ඒ වෙලාවේ ඒ ගෙදර හිටියා ලස්සන තරුණ ගැහැනු ළමයෙක්. මේ දැරියට ආනන්ද හාමුදුරුවො ගැන ආසාවක් ඇති වුණා. ඇය එහෙම හිතද්දී ආනන්ද හාමුදුරුවො වතුර වීදුරුව බීලා ආපසු වැඩියා. ඒ අතරෙ ඇය අම්මා ආවට පස්සේ මේ විස්තරය කිව්වා. එතැනදී අම්මා දූගෙන් බේරෙන්න බැරිව රොඩී බන්ධනයක් කළා. ඒ බන්ධනේට කියන්නෙ නීචකුල බන්ධනය කියලා. මේක බුදුහාමුදුරුවො දිවැසින් දැක්කා. ඊට පස්සේ බුදු හාමුදුරුවො ඒ බන්ධනය කැඩුවා. ඒ ජලනන්දන පිරිත සජ්ජායනා කිරීමෙන්. ඊට පස්සෙ ඒ බන්ධනේ වැඩ කළේ නෑ.
මිනිස් ජීවිතවලට කරදර එන්නෙ මෙන්න මේ විදියට. ඒ එන කරදරවලට එක එක කාලෙට දැනුම් තේරුම් ඇති අය, පර්යේෂකයො එකතුවෙලා යම් යම් උත්තර, ප්‍රතිකාර කරනවා. ඒකට මේ මිනිස් සමාජය දියුණුද, නොදියුණුද කියන එක ප්‍රශ්නයක් නෑ.
මේ මිනිසුන්ට නොපෙනෙන අදෘශ්‍යමාන බලවේගවලින් සිදුවන කරදර අනතුරුවලට පිහිටක් වෙන්න තමයි ඒ කාලයේ හිටිය සෘෂිවරු තනි තනිව සාමූහිකව මේ මන්ත්‍ර ශාස්ත්‍රය සොයාගත්තෙ. මේක අපිට අර්ථ ගන්වන්න පුළුවන් මේ විදියට. හැමදෙනාගේම පිහිට සඳහාත්, තමන්ගෙ ආරක්‍ෂාව සඳහාත් යොදා ගන්නා ක්‍රමයක් විදියට.
මේ මන්ත්‍ර ශාස්ත්‍රය මුලින්ම තිබුණෙ මුඛ පරම්පරානුගතව. ඊට පස්සෙයි ඒක ලිඛිත භාෂාවෙන් සටහන් වුණේ. මන්ත්‍ර ශාස්ත්‍රයෙ වැදගත්ම දේ තමයි පළමු වරට ලියැවුණු භාෂාවෙන්ම එය භාවිත කිරීම. ඒකත් මන්ත්‍ර ශාස්ත්‍රයේ එක්තරා ගුරු මුෂ්ටියක්.
අනුන්ට පිහිටක් වෙනවා කියන්නේ කෙනකුගේ කරදරේකට පිහිට වීම. පුංචි උදාහරණයක් ගත්තොත් බඩේ රුදාවක් අල්ලපු කෙනෙක් මං ගාවට ආවොත් කරන පළමු සරල ප්‍රතිකාරය තමයි දෙහි ගෙඩියක් මතුරලා දීම. ඒක එච්චරයි. ආයි ජීවිතේටවත් බඩේ කැක්කුමක් මතුවෙන්නෙ නෑ. මෙතැන දෙහි ඉස්ම වුණේ බඩට ඇතුළුවන ද්‍රාවණයක්. මැතිරිල්ල වුණේ අදාළ මන්ත්‍රය. බලය වුණේ ස්වර රටාව බල පිහිටුවීම.
සමහර අයට යටිපතුල් දැවිල්ල හැදෙනවා. ඇඟපතේ වේදනාව ඇතිවෙනවා. ඇඟ නිතරම උෂ්ණයි. පරීක්‍ෂා කරලා බැලුවාම කිසිම ලෙඩක් නෑ. නමුත් ඇඟ පිච්චෙනවා.
තවත් සමහර අය ලෙඩට බෙහෙත් බොනවා. ගුදම් ගණන් බොනවා. ලෙඩේ අඩුවෙන්නේ නෑ. එහෙම අය ඇවිල්ලා කියන්නෙ කොච්චර බෙහෙත් බිව්වත් බෙහෙත් ඇඟට අහන්නෙ නෑ කියලා.
මේ වගේ අයටත් තියෙන්නෙ ඉතා සරල පුංචි ප්‍රතිකාරයක්. මම ඉස්සෙල්ලම කරන්නෙ ඇඟේ තුන්‍ෙදාස් අයින් කිරීම. ඊට පස්සේ ඇඟට බෙහෙත් අහන විදියට මං ඉගෙන ගත්තු ශාස්ත්‍රයෙන් පිහිටක් ලබාදෙනවා. ආයිත් කවදාවත් ඒ අයට ඒ රෝගය මතුවෙන්නෙ නෑ. ඇඟට බෙහෙත් නාහා ඉන්නෙත් නෑ.
ඒ මං කිව්වෙ අන් අයගේ ආරක්‍ෂාවට මේ ශාස්ත්‍රය යොදාගන්න පුළුවන් ඉතා සරල ක්‍රම දෙකක්. මේ මම කියන්න යන්නෙ ඒ ශාස්ත්‍රයම මට ආරක්‍ෂාවට, පිහිටට යොදාගන්නා ආකාරය ගැන.
අපි හිතමු කවුරුහරි කෙනෙක් පිරිසක් මට පහරදෙන්න ආවොත් මටත් කේන්ති යෑම වළක්වන්න බෑ. ඒ වුණාට එහෙම කේන්ති ගියාට, ඒ කේන්තිය තුළින් යමක් ක්‍රියාත්මක කරන්න කලින් මට ශාස්ත්‍රයෙන් ඒ සඳහා අවසර ගන්න ඕන. ඒ අවසරය තමයි මේ මම කරන්න යන දේ හුදෙක් මගේ ආරක්‍ෂාව සඳහාත්, මගෙන් තමන්ගෙ ජීවිතවලට පිහිටක් ලබාගැනීමට ඉන්න අයට පිහිට ලබාදෙන මාර්ගයක් පමණක් බව සිතීම.
මේ ශාස්ත්‍රයේම අපට දීලා තියෙනවා උඹත් පරිස්සම් වෙයං කියලා ලබාදීපු ගුරු මුෂ්ටි වරමක්. මේ ගුරු මුෂ්ටි වරම අපිට හිතෙන හිතෙන විදියට පාවිච්චි කරන්න බෑ. ඒකට හේතුවක් තමයි සාධාරණ හේතුවක් නැතුව පාවිච්චි කළොත් ඒකෙ බලය නොපිහිටින එක.
පළමුවැනි පියවර තමයි ඕනම කෙනෙක් එක්ක සාකච්ඡා කරලා ප්‍රශ්න විසඳීම. ඒකත් කරන්න බැරි නම් තමයි අපිට ඉන් එහාට යන්න වෙන්නෙ. එතැනදි අපි කරන්නෙ ගුරුකමේ බලයෙන් අදාළ කෙනාගේ සිතිවිලි පාලනය කිරීම. ඔහු යහමඟට ගැනීම. ඒ මොහොතේ හිතට පහළ වූ නරක, නපුරු සිතිවිලි වෙනුවට මෛත්‍රි, කරුණා සිතිවිලි සිතට පහළ කරවීම. මේක මං ඉගෙන ගත්තු ගුරුකමේ සත්ත පෙන්නන හාස්කමක්.
මේ වගේ වෙලාවක මේ ශාස්ත්‍රයේම තියෙනවා එක් ගුරුකමක්. ඒකට කියන්නේ කාලම් පිඹිනවා කියලා. මේ ගුරුකම පරම්පරාගත එකක්.
මේ ගුරුකමට ගම්මිරිස් ගහකින් නෑඹුල් ගම්මිරිස් ඇටයක් කඩාගන්න ඕන. ඊළඟට මොකක් හරි තමන්ට කරදරයක් එනව නම් කරන්න තියෙන්නෙ ඉතා පුංචි දෙයක්. ඒක තමයි ගම්මිරිස් ඇටේ කටේ දාලා හපන එක. මේ විදියට විකලා සුළඟ හමන අතට කටින් පිඹිනවා. මේක කරන්න ඕන හැම තිස්සෙම සුළඟ හමන අතට. සුළං පාරට විරුද්ධව කෙරුවොත් ඒ කාලම ආපසු සුළඟත් එක්කම ඇවිත් තමන්ටම වදිනවා. එතකොට ඒක තමන්ටම කරගත්තු කොඩිවිනයක් වෙනවා.
මෙතැනදී කියන්න ඕන දෙයක් තියෙනවා. මේ ගම්මිරිස් ඇටේ ඒ දේ කරන්න ඉස්සෙල්ලා ජීවම් කරගන්න ඕන ඒකට තියෙන මන්තරේකින්. ඉස්සර කාලෙ මේ විදියට ජීවම් කරගත්තු ගම්මිරිස් ඇට බුලත් පයියෙ දාගෙන හිටියා අපේ ගුරුන්නාන්සේලා. ඒ අයට මොකක් හරි කරදරයක් ආවොත් බුලත් විටක් හපනවා වගේ ගම්මිරිස් ඇටේ හපලා පිඹිනවා. මේක හරියට අද කාලෙ ආරක්‍ෂාවට ආයුධයක් අතේ තියාගෙන ඉන්නව වගේ.
මේ විදියට කාලම් පිඹීම හින්ද ඒ කාලමට අහුවෙන පුද්ගලයා සිහිනැතුව එකපාරටම ඇදගෙන වැටෙනවා. ඊට පස්සෙ කාලම පිම්බ පුද්ගලයාට කරදරයක් නැතිව ඉවත්වෙලා යන්න පුළුවන්.
මේ කාලම අනතුරුදායක විදියට පාවිච්චි කරන්න පුළුවන්කම තියෙනවා. කාලම් පිඹීමට අහුවෙන පුද්ගලයා අනතුරුදායක තත්ත්වයකට පත්වෙන්න ඉස්සෙල්ලා බේරාගත්තේ නැත්නම් ඊළඟ පියවරේදී එම පුද්ගලයා මරා දමන තත්ත්වයකට ගේන්නත් පුළුවන්.
මෙතැන තියෙන විශේෂ දේ මේකයි. ඕනම මන්තරේකට ඉන්නවා හතුරෙක් හෝ මිතුරෙක්. අපි මිතුරු මන්තරයක් මැතුරුවොත් ඒ මන්තරේ අඳුරගන්න පුළුවන් දක්‍ෂ මන්තරකාරයෙක් ඉන්නව නම්, එයාට පුළුවන් ඒ මිතුරු මන්තරේට හතුරු මන්තරයක් ජප කරන්න. ඒ වගේම අපි හතුරු මන්තරයක් මැතුරුවොත් ඒ මන්තරය අඳුරගන්න පුළුවන් දක්‍ෂ මන්තර කරුවෙක් හිටියොත්, එයාට පුළුවන් ඒ හතුරු මන්තරේට විරුද්ධව මිතුරු මන්තරයක් ජප කරන්න. එතැනදි කරන්න තියෙන්නේ ඒ මන්තරයෙන් පැන් ටිකක් මතුරලා ඉහින එක. එතකොට අර සිහි නැතුව වැටිච්ච පුද්ගලයා කරදරයක් නැතිව නැඟිටිනවා.
අපි හැමෝම ආරක්‍ෂාවට යන්ත්‍ර පලඳින්න කැමැතියි. ඒකට හේතුව වෙන්නෙ අංගම්, පිල්ලුවලින් බේරෙන්න උත්සාහ කිරීම. අංගම් පිල්ලුවලින් බේරෙන යන්තරයක් කා ළඟ හරි තියෙනවා නම් ඒ අයට අංගම්, පිල්ලු වදින්නෙ නෑ. මේ ගුරුකම් සාස්තරේ හැංගිච්ච ගොඩාක් දේවල් තියෙනවා.
මේ ගුරුකම්වල වර්ග තියෙනවා. මලයාල ගුරුකම්, රොඩී ගුරුකම් වගේ ඒවා තියෙනවා. මේ මන්තරවල තියෙනවා යන්ත්‍ර, මන්ත්‍ර, තන්ත්‍ර කියලා තුන් වර්ගයක්.
යන්තර කියන්නෙ අතින් අඳින ඒවා. තඹ කොළේ අඳින එකට තමයි යන්තර කියලා කියන්නේ.
මන්තරේ කියන එක දිගයි. සමහර මන්තරවල එක කොටසක් පිටු එකහමාරක් විතර දිගයි. මන්තරයක් කියන්නෙ කටින් ශබ්ද නඟා නිවැරැදිව මතුරන දෙයක්.
මේ දෙකට අමතරව තවත් දෙයක් තියෙනවා ගුරුකම්වල තන්ත්‍ර කියලා. මේ තන්තරවල හරිම කෙටියි. තියෙන්නේ වචනයයි දෙකයි. මේ තන්තර අනෙත් ඔක්කෝටම වැඩිය බලවත්. බලගතුයි.
මෙතැනදී අපිට කාලමක් වගෙ දෙයක් පිඹින්න ඕන නම් අපිට ඕනවෙන්නෙ තන්තර. ඒකට හේතුව තමයි කෙටිවීම. මොකද කාලමක් පිඹිනකොට මන්තර ජප කර කර හිටියොත් අපි ගහන්න කලින් අපිට ගහලා ඉවරයි. ඒ හින්දා වචනෙන් දෙකෙන් කියන්න පුළුවන් තන්තර ඕන වෙනවා.
මේ තුනෙන් වැඩියෙන්ම ප්‍රබල වෙන්නෙ තන්තර. ඊළඟට මන්තර. යන්ත්‍ර ප්‍රබල වෙන්නෙ ඊටත් පස්සෙ.
මේ යන්තරවලට ගුණ දෙන ක්‍රමයක් තියෙනවා. එතැනදී අපි කරුණු කිහිපයක් ගැන සැලකිලිමත් වෙන්න ඕන. ඉස්සෙල්ලම යන්තරය අඳින්න සුබ හෝරාවක් තෝර ගන්න ඕන. ඒ වගේම දවසකුත් තියෙනවා. ඒක කේන්දරේට අනුව බලන්නත් පුළුවන්. කේන්දරේ නැතුවත් බලන්න පුළුවන්. එතකොට හෝරාව තෝර ගන්න ඕන. ඒ තෝරගත්තු සුබ හෝරාවෙන් අඳින්න ඕන. ඊළඟට යන්තරය අඳින පුද්ගලයාගෙන් වෙන්න ඕන දේවල් කිහිපයක් තියෙනවා.
මෙතැනදී යන්තරේ පළල වගේ පස් ගුණයක් දිග ගන්න ඕන. මේ විදියට කළොත් තමයි යන්තරේ බලය එන්නේ. ඊට පස්සෙ රේඛා අඳින්න ඕන. ඒ අඳින හැම රේඛාවක්ම ද්විත්ව රේඛා වෙන්න ඕන. ඒ කියන්නේ ඩබල් ඉරි වෙන්න ඕන. ඉරි දෙකක් කියන එකයි ඒකෙන් කියන්නෙ. මේ විදියට අඳින හැම ඉරක්ම කැපෙන්න බැහැ. නොකැපී තියෙන්න ඕන. යන්තරේ අඳිනකොට හිල්වෙන්න බෑ. මෙන්න මේ වගේ ගොඩාක් පිළිවෙත් ආරක්‍ෂා කරන්න ඕන යන්තරයක් අඳින කොට.
මන්තරයක් කියනකොට ඕනම තැනකදි ඒක කරන්න පුළුවන්. ඒකට වෙලාවක්, කාලයක් මුකුත් නෑ. නමුත් තවත් දෙයක් තියෙනවා. තටු හදලා, මල් තියලා, පිදේනි දීලා, පහන් පත්තු කරලා, කපුරු පත්තු කරලා තමයි සාමාන්‍යයෙන් මන්තරයක් කියන්නේ.
හැබැයි තන්තරේට මේ කිසිම දෙයක් ඕන නෑ. තත්ත්පර දෙක තුනෙන් කියන්න පුළුවන්.
පොදුවේ මිනිසුන්ට ඇතිවන ඕනෑම ප්‍රශ්නයකට මන්තර ගුරුකම්වල පිහිට ලබාගන්න පුළුවන්. එතැනදි තමන් කරන්න ඕන ඒ ගැන හිත හිත ළතවෙවී ඉන්න එක නෙවෙයි. ඉක්මනින්ම පිහිට ලබාගැනීම.
ලෙඩට, දුකට, මනුස්ස, අමනුස්ස බියට, හදි හූනියම්, අනවින කොඩිවින, පැන්නිලි, තනිකම් දෝෂ, අපල උපද්‍රව, දරුපල අහිමි වීම වළක්වා ප්‍රතිඵල දෙන්න මන්තර ගුරුකම්වලට තියෙන හැකියාවට අභියෝග කරන්න කිසිම සාත්තරයකට බැහැ. ඒ වගේ අභියෝගයක් ආවොත් මම ඒ අභියෝගය බාර අරගෙන ඒකෙන් දිනන හැටි ඔප්පු කරන්න සූදානම්. මම මේ දේවල් කියන්නෙ මම කරපු ගුරුකම්වල අත්දුටු ප්‍රතිඵලවලින්. ඒක සත්තයි.
කාටවත් කියන්න බෑ මේ ගුරුකම් සාස්ත්‍රය බොරුයි කියලා කියන්න. ඒ වගේම අවිස්වාස කරන්න. එහෙම කෙනෙක් ඉන්නවා නම් මං ඒ අයට කියනවා එන්න මා ළඟට. මම ඒ සත්තය පෙන්නනවා කියලා.
මගේ ගුරුකමේ සත්ත මේකයි. මිනිහෙක්ගෙ මරණාසන්න මොහොත දක්වා මිනිසකුට අනතුරුදායක තත්ත්වයක් ලබාදීලා අවසානයේ ඒ තත්ත්වයෙන් මුදා සුවපත් කිරීම.
ඒ වගේම පසුගිය දවස්වල මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයා ලොකු ප්‍රචාරයක් ගෙනගියා මේ ගුරුකම් ඔක්කොම බොරුවක් කියලා.
මම මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහත්මයාට අභියෝග කරනවා. මම කියනවා මේ ගුරුකම් ඔක්කොම ඇත්තයි, සත්තයි ඒක මං ඔප්පු කරලා පෙන්වනවා කියලා.
හැබැයි, මට එතුමා ළඟට වඩින්න බෑ. එතුමා මම ඉන්න පන්සලට ආවොත් මම එතුමාට බන්ධනයක් කරලා පෙන්නනවා උතුර දකුණ හොයාගන්න බැරිවෙන්න. නැගිටින්න බැරිවෙන්න පුටුවක වාඩිකරවන්න මට පුළුවන්.
දැන් එතුමාට තියෙන්නේ මගේ අභියෝගය බාරගන්න එක. මොකද මං එතුමාගේ අභියෝගය බාරගත්තා. තව එකක් කියන්න ඕන. මිනිසුන් මේ වධ හිංසා බන්ධනවලින් මුදා සෙත සලසන මේ ගුරුකමේ සත්ත පෙන්නන බලයේ අභියෝගය එතුමා බාරගත්තත් පරාදයි. බාර නොගත්තත් පරාදයි. හැබැයි බාර නොගෙන පරාද වෙනවට වැඩිය බාර අරගෙන පරාද වෙන එක ගොඩක් නම්බුකාරයි.
අරුණඩේල් විජේරත්න
ඡායාරූප: ජේ. වීරසේකර