ගීතාගෙන් පහර කෑ මන්ත්‍රි කට අරියි

'තමුසෙ තාම යූ.එන්.පී.කාරයා. තවම ශ්‍රී ලංකා නි.ප. සාමාජිකත්වය අරගෙනත් නෑ. ඒක දෙන්නෙත් නෑ' කියූ ගීතා කුමාරසිංහ මහත්මිය මට අසභ්‍ය වචනයෙන් බැන්නා. මමත් එවිට අසභ්‍ය වචනයෙන් බැන්නා. ඒ වෙලාවේ ඇය කෝපි කෝප්පයක් මගේ ඇඟට විසි කළා. මා ඇඳ සිටි ටීෂර්ට් එකට හා කලිසමට කෝපි වැදුණා. මමත් කෝපිවලින් ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට හදනවිට මැද්දෙන් ජැක්සන් මහතා සිටි නිසා එය අපහසු වුණා. අනෙක ගැහැනියක් නේද කියා ඉවසාගෙන සිටියා. 

ජනමාධ්‍යවලින් මගෙන් මේ ගැන විස්තර ඇහුවා. මා සිටි පක්‍ෂය හැර වෙනත් පක්‍ෂයකට පැමිණ සහයෝගයෙන් වැඩකිරීමට නොහැකි වීම ගැන කනගාටු වන්නේ යැයි බෙන්තොට ප්‍රාදේශීය සභාවේ නියෝජ්‍ය සභාපති රංජිත් ශ්‍රී ලාල් වික්‍රමසිංහ මහතා පැවැසීය.බෙන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවණාගාරයේදී පැවැති එ.ජ.නි.ස. කණ්ඩායම් රැස්වීමේදී ශ්‍රී ල.නි.ප. ආසන සංවිධායකවරිය සමඟ ඇති වූ ආන්දෝලනාත්මක සිදුවීම පිළිබඳ පැහැදිලි කරමින් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.

අපේ ආසන සංවිධායකවරිය පිස්සියක් වුවත් අපට ඒ පිස්සිය සමඟ වැඩකරන්න වෙනවා. බෙන්තර - ඇල්පිටිය ආසනයට ගිය කලක්. ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ එක මන්ත්‍රිවරයෙක් හැර බෙන්තොට ප්‍රාදේශීය සභාවේ එක් මන්ත්‍රිවරයෙක් හැර ඇයට කඩේ යන්න මෙහෙ කිසි කෙනෙක් නැහැ. සභාපතිගේත් හිතේ යම් යම් දේ තිබෙන බව පැහැදිලියි. මම ශ්‍රී ලනිපයට ඇවිත් වසර 2ක් වෙනවා. ජනාධිපතිතුමා අරලියගහ මන්දිරයට කැඳවා පැවැත් වූ රැස්වීම්වලටත් දකුණු පළාත් ප්‍රධාන අමාත්‍යවරයාගේ සංවර්ධන වැඩවලටත් සහභාගි වීම හැරුණුවිට වෙනත් කිසිම වැඩක් පක්‍ෂය වෙනුවෙන් කිරීමට නොහැකි වීම ගැන මට කනගාටුයි.


මම පාසල් කාලයේ සිට දේශපාලනය කළා. එදා සිටම මම නියෝජනය කළ පක්‍ෂයට මා හයියක් වුණා. යූ.එන්.පී. එකේ සිටියදීත් මගේ හයිය ඒ පක්‍ෂයට තිබුණා. මොන පක්‍ෂයකින් ඡන්දය ඉල්ලුවත් ජනතාව මා සමඟ සිටියා. මම කවදාවත් නිල කාලය නිම වීමට පෙර වෙනත් පක්‍ෂයකට ගිහින් නෑ. තීන්දුවක් ගන්නේ නිල කාලය ඉවරවීමෙන් පසුවයි. ශ්‍රී ලනිපයට සම්බන්ධවී මම පක්‍ෂයට විශාල සේවයක් කළා. මම ජනතාව සමඟ සිටින නිසා මා නියෝජනය කරන පක්‍ෂයට ඡන්දය දීමෙන් පසුවයි ඔවුන් මට මනාප දෙන්නේ.


පසුගිය ඡන්දෙදි මං කැන්වසින් ගියේ නෑ. ඉදිරියටත් එසේ කරන්නේ නෑ. ඡන්දය ඉල්ලනකොට මම හිඟා කන්නේ නෑ. ජනතාව වෙනුවෙන් වැඩ කරනවා නම් ඡන්ද හිඟා කන්නේ මොකටද? මම හිටපු පක්‍ෂයට ගැරහුවේත් නෑ. මම ජනතාවට කීවේ කැමැති නම් මට ඡන්දය දෙන ලෙසයි. මන්ත්‍රිවරු 7ක් සිටි එජනිසයට මා නිසා මන්ත්‍රිවරු 8ක් ලැබුණා. මම ආවේ විශාල පිරිසක් අරගෙනයි. මම සභාපතිතුමා වගේ විශාල මුදලක් වැය කළේ නෑ. මියුසිකල් ෂෝ තිබ්බෙත් නෑ. මම වැඩිම මනාප ගත්තත් මට සභාපතිකම නොදෙන බව සංවිධායකතුමිය මුල සිටම කිව්වා.


කෙසේ හෝ මම වැඩිම මනාප ගත්තා. මට ඡන්දය දුන් ජනතාවට මම ස්තුතිය පුදනවා. මම පළමුවැනියා වුණේ ජනතාවට සේවය කළ නිසයි. මම මේ පක්‍ෂයටත් ලොකු සේවයක් කළා. ආසන සංවිධායකවරියගේ දුර්වලකම නිසා අපට පාර්ලිමේන්තුකමත් නැතිවුණා.


පසුගියදා ගාල්ලේදී මේ ප්‍රදේශයේ දේශපාලන ක්‍රියාකාරිකයන්ගේ සහභාගිත්වයෙන් ආණ්ඩුකාරතුමියගේ කාර්යාලයේදී රැස්වීමක් පැවැත්වුණා. බෙන්තොට ප්‍රා. සභාවෙන් මම විතරයි හිටියේ. නියෝජ්‍ය කතානායකතුමා කතා කරන විට ඇය කුලප්පු වී රඟපෑම ගැන ඒ සභාවෙන් දැඩි විරෝධයක් ආවා. එතැන සිටි පිරිස අසභ්‍ය වචනවලින් පවා බනිමින් ඇයව විවේචනය කළා. නියෝජ්‍ය කතානායකතුමා කිව්වේ එජාපයේ ප්‍රතිසංවිධානයට කොළඹ සිට තොල් රතුකරගෙන කාන්තාවන් පිරිසක් ආ බවයි. මේ ගීතා වගේ ඇය කිව්වා විතරයි ඇය ඒකටත් දැඩි සේ කෝප වුණා. එදා එතැනදී ඇයට දැඩි විරෝධයක් එල්ල වුණා.


මෙම හතර වැනිදා මෙහි පැවැති කණ්ඩායම් රැස්වීමට ජැක්සන්, ප්‍රේමකුමාර, සෞම්‍ය, නිලූක යන මන්ත්‍රිවරුන් හා මමත් සහභාගි වුණා. නිලූක කලින්ම පිටවී ගියා. කණ්ඩායම් රැස්වීමක් තියන්නේ ප්‍රාදේශීය සභා රැස්වීමේ න්‍යාය පත්‍රයට ඇති දෙසට පක්‍ෂය මුහුණ දෙන අන්දම සාකච්ඡා කිරීමටයි. මේ සංවිධායකවරියගේ හැසිරීම නිසා බෙන්තර ඇල්පිටියට වූ අපහාසය ගැන මම ඇහුවා. කොට්ඨාසවලට නිල්රැල්ල සඳහා නියෝජිතයන් පත්කර ඇති බව මම දැනගත්තේ එදායි. කිසිම මන්ත්‍රිවරයෙක් දැන සිටියේ නැහැ. මම ඒ ගැනත් ඇහුවා. බැසිල් ඇමැතිතුමා 'නංගිට ඕනෑ විදියට කරන්න' කියා ඇයට කියූ බව ඇය කිව්වා. මගේ ඇඟට ගොඩවෙන්න ආවා. ගැහැනියක් නිසා මම ආවේගය පාලනය කරගත්තා. ආසනයත්, ආසන සංවිධායකවරියත් ගැන සිතා මම ඉවසුවා. පක්‍ෂයක් හැටියට වැඩකරන විට එකමුතුව වැඩ නොකළොත් ඉදිරියට යන්න නොහැකි යැයි මම කිව්වා. තමුසේ තාම යූ.එන්.පී.කාරයා කියා බැන වදිමින් මගේ ඇඟට කෝපි විසි කළේ ඒ වෙලාවෙදීයි.


මට තනතුරු අවශ්‍ය නැහැ. කාගේවත් පස්සෙන් ගිහින් සාමාජිකත්වය ගන්න අවශ්‍යත් නැහැ. මට අවශ්‍ය පක්‍ෂයට ශක්තියක් ලබාදීමටයි. මම ඇයට අභියෝගයක් කරනවා දකුණු පළාත් සභා ඡන්දය ලබන වසරේ පවත්වන විට පුළුවන්නම් ඡන්දය ඉල්ලා දිනන්න කියා. එදා ගාල්ලේ පැවැති රැස්වීමට සහභාගි වූ ගාලු දිසාවේ ප්‍රබලයන්ගේ අදහස් හා මතවලට අනුව ඇය ඉන්නේ ලිස්ට් එකේ ඕඩ්ඩාටයි. (අන්තිමයාටයි) මේක අපේ ආසනයට විශාල පාඩුවක්. මේවා බලපාන්නේ ජනතාවටයි. ඒ නිසා පක්‍ෂයේ ඉහළ නිලධාරීන් සමඟ සාකච්ඡා කර මේ කුණ්ඩවාලය එළවා ගත යුතුයි. මෙයත් එක්ක වැඩකරන්න බැහැ. නිල් රැල්ලට නම් හානියක් වෙන එකක් නෑ. තනි තනිව වැඩ කරන්න ගියොත් වැඩ කුරුවල් වෙනවා. එහෙම කළොත් අවුලක් මිස යහපතක් වන්නේ නැහැ. ලංකාවේ කොහේවත් නැති ක්‍රමවේදයක් මේ ආසනේ ක්‍රියාත්මක කරන්නේ. පක්‍ෂයේ යහපතට වැඩකරන අප අයින් කිරීමට හදන එක ගැන බලවත් විරෝධය පළ කරනවා.


සභාපති ගයාන් සිරිමාන්න, එජනිස මන්ත්‍රිවරුන් වන පී.ඩී. සරත් ආනන්ද, ජැක්සන් කොට්ටහච්චි, ප්‍රේමකුමාර විජේවර්ධන, එජාප මන්ත්‍රිවරුන් වන ප්‍රේමසිරි හෙට්ටිආරච්චි, නිලන්ත මැදගොඩ, නීතිඥ ජනක කාරියවසම් හා ජවිපෙ මන්ත්‍රි වසන්ත ගුණවර්ධන මහත්වරුන්ද අදහස් දැක්වූහ.
බෙන්තොට - එම්. මීගහපොළ

 -සබැදි පුවත්-
1. බෙන්තර උප සභාපතිට ගීතා කුමාරසිංහගෙන් ප්‍රහාරයක් 

Gossip Lanka Hot News Previous News Archive