ධාතුසේන, මහසෙන්, පරාක්‍රමබාහු යන රජවරුන්ට වඩා වැඩි වැව් සංඛ්‍යාවක් මෙරට ඉදිකළ හිටපු ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතා මෙරට වාරිමාර්ග විශාල ප්‍රමාණයක් ඉදිකිරීමටද උරදී කටයුතු කළ බව එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
1978දී මෙරටට ගැළපෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් නිර්මාණය කළ ජයවර්ධන ජනාධිපති එමඟින් මහවැලිය ඇතුළු සංවර්ධන යෝජනා ක්‍රම රැසක් ක්‍රියාත්මක කරමින් රටේ විශාල ආර්ථික පුනරුදයකට මං විවර කළ බව පැවැසූ එජාප නායකයා, ලංකාවේ වැඩිම වැව් හා වාරිමාර්ග සංඛ්‍යාවක් පමණක් නොව රූපවාහිනි, ජංගම දුරකතන, වෙළෙඳ කලාප ඇතුළු නව තාක්ෂණය ශ්‍රී ලංකාවට හඳුන්වාදී විශාල සමාජ හා ආර්ථික විප්ලවයක් සිදු කළ බවත් පැවැසීය.
සිරිකොත මූලස්ථානයේදී ඊයේ (30දා) පැවැති මාධ්‍ය හමුවකදී මේ අදහස් පළකළ වික්‍රමසිංහ මහතා 17 වැනි සංශෝධනයෙන් විධායක ජනාධිපති බලතල අඩු කෙළේ ඒ සඳහා ජනතාව කෙරෙහි තිබූ නොසතුට නිසා බවත් එහෙත් ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා 17 වැනි සශෝධනය අහෝසිකොට 18 වැනි සංශෝධනයෙන් අධිකරණයේ සහ පාර්ලිමේන්තුවේ බලය තමා වෙත පවරාගත් බවත් කීවේය.
ජයවර්ධන මහතා විසින් ඇති කළ ජනතා පරමාධිපත්‍යය තහවුරු කෙරුණු පාලනය ගෙවුණු දශකයක පමණ කාලය තුළ හෑල්ලුවට ලක්ව ඇති බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය.ජනාධිපතිවරයා හා අධිකරණය එක්ව පාර්ලිමේන්තුව හෑල්ලු දුර්වල කළ බවත්, පසුව පාර්ලිමේන්තුව හා එක්ව අධිකරණය දුර්වල කළ බවත් හෙතෙම සිහිපත් කළේය.
ඒ අනුව මේවන විට අධිකරණය, පාර්ලිමේන්තුව,මානව හිමිකම්, ඡන්ද බලය ආදී සියල්ලම පාහේ දුර්වලවී ඇති බවත්, ජනාධිපතිවරයා පමණක් ජයග්‍රහණය ලබා ඇති බව හා ජනතාව පරාජයට පත්ව ඇති බව වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.