කලාවැවේ අලි ඇතුන් 150ක් මියයාමේ අවදානමක

ලංකාවේ සුවිශේෂීම අලි රංචුව ලෙස සැළකෙන කලාවැව අලි රංචුවේ අලි ඇතුන් 150ක් පමණ මේ වනවිට ජලය නොමැතිව මියයාමේ අවදානමක් පවතින බව වාර්තා වෙනවා.

බළලු වැව හා කලා වැව හෑරීම නිසා ජලය ඉවත්කිරීම මෙයට ප්‍රධානතම හේතුව වන අතර මේ දිනවල අනුරාධපුරයට පවත්නා බරපතල නියඟය හේතුවෙන් කලාවැව ආශ්‍රිතව දිවි ගෙවන මෙම අලි ඇතුන්ට ජලය ලබාගැනීමට ස්ථාන නොමැතිවීම මෙම තත්ත්වයට හේතුවයි.
මෙම අලි රංචුවේ විශේෂත්වය නම් ලංකාවේ වැඩිම දල ඇතුන් ප්‍රතිශතය වාර්තාවීමය. ඊට අමතරව කුඩා පැටවුන්ද රැසක් මෙම අලි රංචුව තුළ දැකගත හැකිය. එවැනි අලි රංචුවක් මෙලෙස විනාශයට දැමීම ජාත්ක අපරාධයක් බවයි වනජීවී සංරක්ෂණ සංසදය පවසන්නේ.
ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වනවිට ජලය නොමැතිව ඉතා වෙහෙසකර මට්ටමකට පත්ව තිබෙන මෙම අලි රංචුව අවට ගම්වැදීමට බොහෝදුරට ඉඩ ඇති බවයි.
ඉබ්බන්කටුව ජලාශයේ ජලය කලාවැවට දිනකට පැය 2ක් නිදහස් කිරීම හැර වෙනත් විසඳුමක් මෙයට නැති බවට පරිසර සංරක්ෂණවේදීන් පවසන අතර මේ වනවිට වැව හෑරීමේ කටයුතු සිදුවෙමින් පවතින නිසා වැවට ජලය මුදාහැරීම සිදු කළ නොහැකි බවයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ.

ඡායාරූප - ධනුශ්ක සේනාධීර

Gossip Lanka Hot News Previous News Archive