දියණියගේ ශිෂ්‍යත්වය අසා ජීවිතයට සමුදුන් පියාගේ කඳුළු කතාව

මම ශිෂ්‍යත්ව ලියලා ගෙදර ආ ගමන්ම මගේ රත්තරන් තාත්තා මට කෝල් කරල විභාගය ලිව්වද කියලා ඇහුවා. මම හයියෙන් සිනාසී මගේ සුදු තාත්තේ මට විභාගය හරිම ලේසියි. මම විභාගය ඉහළින්ම සමත්වී මගේ පාසලටත්, දෙමාපියන්ටත් ලොකු ගෞරවයක්‌ ලබා දෙනවා කියලා කිව්වා. ප්‍රතිඵල ආ ගමන්ම තාත්ත මට අරගෙන දෙනව කියපු ලැප්ටොප් එක අරගෙන දෙනව නේද? කියලත් මම තාත්තගෙන් ඇහුවා. මගේ සුදු දුවට මම දෙනව කියල පොරොන්දු වූ ලැප්ටොප් එක අරගෙන දෙනවා කියා පවසත්ම තාත්තගෙ  දුරකථනය  කට්‌ වුණා යෑයි
හෘදයාබාධයකින් ජීවිතක්‍ෂයට පත් වූ පිටිගල, ඉඳිපලේගොඩ, හීන්කැටිය වත්ත ලිපිනයේ පදිංචි මුතුවාහන්දි චමින්ද ශ්‍රී ලාල් ද සිල්වා (39) මහතාගේ හදිසි වියෝව පිළිබඳව ඔහුගේ එකම දියණිය වන මුතුවාහන්දි උදේශි නෙත්මිණි ද සිල්වා (10) මල් කැකුළිය අප හා පැවසුවාය.

නෙත්මිනි දැරිය දොඩමළුවෙමින් මෙසේද පැවසුවාය. ඊට පැයකට පමණ පසු තාත්තත් එක්‌ක වැඩ කරන අන්කල් කෙනෙක්‌ කෝල් කරල අම්මට කිව්වා තාත්තට හදිසියේ හෘදයාබාධයක්‌ හැදී කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළා කියලා. එවිටම අම්මා මමත් එක්‌ක කොළඹ ගියා.

එදිනම සවස 5.30 ට විතර අම්ම කොළඹ ඉඳගෙන කෝල් කරල ගෙදරට කිව්ව ආරංචිය ඇහුවම මගේ හදවත මදකට නතර වුණා. දැන් මට මගේ සුදු තාත්තා නැතිව ජීවත් වී පලක්‌ නෑ. මගේ සුදු තාත්ත මා ගැන ගොඩක්‌ බලාපොරොත්තු තියාගෙන හිටියා.

මම ශිෂ්‍යත්ව විභාගය ලියන්නට දින 3 කට කලින් ගෙදර ආපු තාත්තා මටත් මල්ලිටත් හොඳ හොඳ කෑම ගෙනැල්ල දීලා මාව පන්සලට එක්‌කරගෙන ගොස්‌ බෝධි පූජාවක්‌ තියා පන්සලේ නායක හාමුදුරුවන්ට කියල මට පිරිත් කියා පිරිත් නූල් බන්දවල ගෙදරින් පිටත් වුණේ මගේ මුහුණ සිඹ විභාගය ඉහළින්ම සමත් වෙන්න කියා ආශිර්වාදය කරලයි.

එහෙම ගිය මගේ රත්තරන් සුදු තාත්තා පෙට්‌ටියකින් ගෙදර ආපු එක ගැන මගේ හිත හදාගන්නම බෑ. මම මෙවර ශිෂ්‍යත්ව විභාගය ඉහළින්ම සමත් වෙනවාට කිසිම සැකයක්‌ නෑ. ඒත් මගේ ජයග්‍රහණය ගැන වැඩියෙන්ම සතුටු වෙන්න හිටපු මගේ සුදු තාත්තා නැතිව ඒ ජයග්‍රහණය මට මොකටදැයි ඒ මල් කැකුලිය හැඬූ කඳුළින් පැවසූ වදන් වලින් කාගේත් දෙනෙත් වලට කඳුළු කැට ගලා ආවේ නොදැනුවත්වමය.

උදේශිගේ මව වන බී. ජී. සිරියාවතී මහත්මිය (39) අප හා දොඩමළු වෙමින් මෙසේ පැවසුවාය.

මගේ මහත්තයා වසර 10 කට අධික කාලයක්‌ ශ්‍රී ලංකා නාවික හමුදාවේ නිලධාරියෙක්‌ වශයෙන් සේවය කොට ඉන් ඉවත් වී උසස්‌ දේශපාලනඥයන් කීපදෙනකුගේ පෞද්ගලික ආරක්‍ෂක නිලධාරියෙක්‌ වශයෙන් සේවය කළා. අනතුරුව එම රාජකාරියෙන් ඉවත් වී කොළඹ බොරැල්ලේ පෞද්ගලික ආරක්‍ෂක සමාගමක ආරක්‍ෂක නිලධාරියකු වශයෙන් සේවය කළා.

සිද්ධිය වූ දින ප. ව. 1.30 ට පමණ ගෙදර දුරකථනයට කතා කරල නෙත්මිණි දුවගෙ විභාගය ගැන ඇහුවා. ඊට සුළු මොහොතකට පසු තමයි එයාගෙ යාළුවෙක්‌ කතා කරල මහත්තයට අමාරුයි කියල කිව්වේ. එවේලේම මම මල්ලිත් එක්‌ක ජාතික රෝහලට ගියා. ඒ වන විටත් මගේ රත්තරන් මහත්තය සදහටම දෙනෙත් පියාගෙන අවසානයි.

එයා මටත්, දරුවො දෙන්නටත් පණ වගේම ආදරෙයි. හැමදාම උදේටත්, රාත්‍රියටත් දුක සැප විමසනවා. එයා කවදාවත් මත්පැන්, දුම්වැටි පාවිච්චියක්‌ නෑ. මස්‌ මාළු කන්නෙ නෑ. එයාට ප්‍රෙෂර්. කොලෙස්‌ට්‍රොaල්, දියවැඩියාව වගේ කිසිම ලෙඩක්‌ තිබුණෙ නෑ. කොළඹ ඉඳන් ගෙදර එනවිට හොඳම කෑම ගෙනැල්ල දරුවන්ට දෙනවා. ගෙදර ආපු ගමන්ම බුදු පිළිමය සෝදා පිරිසිදු කරනවා. උදේ සවස බුදුන් වඳිනවා. එයා හරිම දැහැමි ජීවිතයක්‌ ගෙව්වේ. කාගේවත් සිත රිදෙන්න කතා කරන්නෙ නෑ. ගෙදර ඉන්න හැම තත්පරයක්‌ම දුවත් පුතාත් සමඟ විනෝද වෙනවා. එයා දරුවො දෙන්නට පණට වගේම ආදරෙයි.

මම දරුවන්ට සැර වැර කරනවාට එයා කැමැති නෑ. මම දරුවො දෙන්නට දඬුවමක්‌ කළොත් එයා මා සමඟ තරහා වෙනවා. ඒ තරමටම දරුවො දෙන්නට ආදරෙයි. එයා නෙත්මිණි දුවගෙ ශිෂ්‍යත්ව විභාගය ගැන ලොකු බලාපොරොත්තුවක්‌ තියාගෙන හිටියා.

නෙත්මිණි දුව හරිම දක්‍ෂයි. එයා හැමදාම පන්තියේ පළමුවැනියා. පසුගිය අවුරුද්දේ පංතියේ ශිෂ්‍යත්ව පෙරහුරු ප්‍රශ්න පත්‍රවලට ලකුණු 190 - 195 ලබා ගත්තා. පංතිය භාර සිරිවර්ධන ගුරු මහතා දුව ගැන ලොකු විශ්වාසයක්‌ තියාගෙන හිටියා. ඒත් මගේ දුවගේ හපන්කම් බලන්න පෙරුම් පුරමින් සිටිය මගේ රත්තරන් මහත්තයා අද ජීවතුන් අතර නැහැ නේදැයි සිරියාවතී මහත්මිය නැගූ විලාපයෙන් මුළු පළාතම සසල විය.

ශ්‍රීලාල් මහතාගේ දේහය පිළිබඳ පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණය පැවැත්වූ කොළඹ ජාතික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා හෘදයාබාධයකින් ශ්‍රී ලාල් මහතාගේ මරණය සිදු වී ඇති බවට නිගමනය කර ඇත.

පශ්චාත් වෛද්‍ය පරීක්‍ෂණ වාර්තාව සහ ඉදිරිපත් වූ සාක්‍ෂි පිළිබඳව සැලකිල්ලට ගත් නාගරික හදිසි මරණ පරීක්‍ෂක මොහොමඩ් අෂ්රµa රූමි මහතා මෙම මරණය හෘදයාබාධයකින් සිදු වූ මරණයක්‌ බවට නිගමනය කළේය.

දැනට අම්බලන්ගොඩ කුලීගොඩ සිරියාවතී මහත්මියගේ දෙමාපියන්ගේ නිවසේ තැන්පත් කර ඇති ශ්‍රීලාල් මහතාගේ දේහය 29 දා පිටිගල ඉඳිපලේගොඩ ශ්‍රීලාල් මහතා පදිංචිව සිටි නිවසට ගෙන යැමට සැලසුම් කර ඇති අතර ඔහුගේ දේහය පිළිබඳ අවසන් කටයුතු 30 දා මළහිරු බැස යන සැඳෑ යාමයේ දී පිටිගල ඉඳිපලේගොඩ පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිතව ඇත.


 මුලාශ්‍ර :-  දිවයින
සටහන හා සේයාරූ ඇල්පිටිය - කේ. සී. විදානආරච්චි

Gossip Lanka Hot News Previous News Archive