ඉඟුරු කඩේ හන්දියේ ට්‍රැෆික්‌ ටොමී

නිල ඇඳුම් නැති, තරු පටි නැති, ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ අපූරු ට්‍රැපික්‌ බලුරාල ගැන දිවයින පත්‍රයේ ඉඩකඩක්‌ වෙන් නොකොළොත් බලුරාලට කෙරෙන විශාල අසාධාරණයක්‌ යෑයි මම සිතමි.
මේ බලු රාලගෙන් වැඩිපුර කෙරෙන රාජකාරිය වන්නේ ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ ට්‍රැපික්‌ රාළහාමිලාගේ සහායට සූදානමින් සිටීමය. මෙම රාළහාමි කෙනකුට කවුරු හෝ වාහන රියෑදුරකු, බේබද්දකු අරියාදුවක්‌ කළොත් ට්‍රැපික්‌ බලුරාල ඔහුගේ කටින් අල්ලා ගැනීමය.
 
කොළඹ - නුවර පාරේ ඉඟුරුකඩේ හන්දියේ තොරතෝංචියක්‌ නැතිව වාහන එහාට මෙහාට හසුරුවන රාළහාමි ළඟ නිතර දෙවේලේ මේ ට්‍රැපික්‌ බලුරාල වාඩි වී සිටිනවා ඔබටත් දැකිය හැකිය. දිවා රාත්‍රි දෙකේම මෙම ට්‍රැපික්‌ බලුරාල මෙසේ දැකිය හැකිය.වාහන හසුරුවන රාළහාමි රාජකාරිය අවසන් වන තුරුත් ට්‍රැපික්‌ බලුරාල ඔහු ළඟ වැතිරී සිටින අයුරු ඉකුත් සති අන්තයේ අපේ ඡායාරූප ශිල්පී ධම්මික සල්වතුර විසින් කැමරාගත කරනු ලැබුවේය.

ට්‍රැපික්‌ බලු රාල ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියට ආවේ දැනට වසර දෙකකට පමණ උඩදී බව අපට දැන ගන්නට ලැබිණි.

පොලිස්‌ නිලධාරීන් අතර ඉතා ජනප්‍රිය වූ මේ බලු රාලට සුද්දා යනුවෙන් නම් තැබුවේය.

මනුස්‌සයන්ටත් වඩා ඉතා උතුම් ගතිගුණ ඇති සුද්දා ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ ලොකු කුඩා කාගේත් මිත්‍රයා විය.

සුද්දාට අපි ට්‍රැපික්‌ බලුරාල යෑයි නම් කළේ උගේ උදාර ගති පැවතුම් නිසාය. පොලිසියේ ට්‍රැපික්‌ රාළහාමිලා පොලිසියේ සිට ඉවතට යන සෑම මොහොතකම මේ සුද්දා පොලිස්‌ නිලධාරීන් පසුපස යන අවස්‌ථා පවා තිබෙන අතර ඉඟුරුකඩේ හන්දියේ රාජකාරියේ යෙදී සිටින රාළහාමිට සහාය දීම උගේ සිරිතය.

පොලිසියේ ට්‍රැපික්‌ කාර්යාලය අසල සුද්දාගේ නවාතැනය. සුද්දාගේ කැමැතිම කෑම කේක්‌ ය. ඌ බත්, මස්‌ මාළු කෑමට ප්‍රියක්‌ නැත.

තේ බීමට යන සමහර රාළහාමිලා දෙන කේක්‌ කෑල්ල, බනිස්‌ ගෙඩිය රසකර කන සුද්දා නමැති මෙම බල්ලාගේ අපූරුතම වෙනස පිළිබඳව ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ රථවාහන අංශයේ සැරයන් විජයකුමාර මහතා අපට මේ අදහස්‌ පළ කළේය. ඔය බල්ලට සුද්දා කියල නම දැම්මේ අපේ පොලිසියේ ගුණසේකර රාළහාමියි. ඌ පොලිසියේ ට්‍රැපික්‌ රාළහාමිලා සමඟ තියෙන්නේ පුදුම මිත්‍රකමක්‌. මේ බල්ලා රෑට නිදා ගන්නේ අපේ පොලිසියේ ට්‍රැපික්‌a අංශය ළඟයි. ඉඟුරු කඩේ හන්දිය ළඟ විතරක්‌ නෙමේ පොලිසිය ඉදිරිපිටත් මහා වේගයෙන් වාහනයක්‌ ගියොත් සුද්දා එම වාහනය පස්‌සේ එළවනවා. ට්‍රැපික්‌ අංශයේ නිලධාරීන් කවුද කියලා සුද්දා හඳුනා ගන්නේ පොලිස්‌ නිලධාරීන් පැළඳ සිටින සුදු පටියෙන්. ට්‍රැපික්‌ අංශය ළඟට කවුරු හරි සැක සහිත පුද්ගලයෙක්‌ ආවොත් ඌ හොඳට ඉව අල්ලනවා.

මේ අපූරු බලු මිත්‍රයා ගැන ග්‍රෑන්ඩ්පාස්‌ පොලිසියේ නිලධාරීන් විවිධ අදහස්‌ පළ කළේය.

පොලිස්‌ සැරයන් ජයසිංහ මහතා - පොලිසියට ඉතාමත් හිතවත් මේ වගේ බල්ලන් කීපදෙනකුම හන්දි කීප තැනක පොලිස්‌ නිලධාරීන් සමඟ ඉන්නවා. ඒත් ඉඟුරුකඩේ හන්දියේ සුද්දා තරම් ජනප්‍රිය නැහැ. කේක්‌, ස්‌පන්චි, අඩ වගේ පිටි කෑම වර්ගයෙන් තැනූ කෑම සුද්දාගේ ජනප්‍රිය ආහාරයි.

දිවයින පත්‍රයේ මීට පෙර මෙවැනි බලු මිත්‍රයන්ගේ හපන්කම් කිහිපයක්‌ ගැන අපි පළ කළෙමු.

එම හපන්කම්වලින් දෙකක්‌ මෙහි සඳහන් කරමු.

හිටපු දිවංගත ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතාගේ පාලන සමයේ මාදම්පේ රූබන්සිංඤෝ සර්කස්‌ කණ්‌ඩායමක්‌ භාරව ක්‍රියා කරද්දී ඔහු ගණන් හදන බ්ලැකී නමැති බැල්ලියක්‌ පදික වේදිකාවේ, ගාලු මුවදොර වැනි තැන්වල ප්‍රදර්ශනය කළේය. එම ගණන් හදන බැල්ලිය පිළිබඳව පින්තූර සහිතව දිවයින පත්‍රයේ ලිපියක්‌ පළ කළෙමු.

පසු දිනම හිටපු ජනාධිපති ප්‍රේමදාස මහතා එම ලිපිය පිළිබඳව දැඩි අවධානය යොමු කර එම බැල්ලිව පල්ලේකැලේ ගම්උදා ප්‍රදර්ශනයට ඉදිරිපත් කළේ එම බැල්ලගේ දස්‌කම් නිසාය. මෙම ලිපිය පළ කිරීම පිළිබඳව ප්‍රේමදාස මහතා දිවයිනට එදා බෙහෙවින් ස්‌තුති කළේය.

මෙම බ්ලැකී බැල්ලිය නිසා ගම්උදා ප්‍රදර්ශනයේදී විදේශිකයෝ පවා එදා සතුටට පත් වූහ.

මීට මාස කිහිපයකට උඩදී මීරිගම ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුගේ නිවසට කොල්ල කල්ලියක්‌ ඇතුළු වී ව්‍යාපාරිකයාට වෙඩි තැබීමට සූදානම් විය. ඒ මොහොතේම ගෙදර සිටි බල්ලා කොල්ලකරුගේ ඇඟට පැන ව්‍යාපාරිකයාව බේරා ගත්තේය.

එහෙත් කොල්ලකරුගේ වෙඩි පහරින් බල්ලා මිය ගියේය. ජීවිතය බේරා ගත් ව්‍යාපාරිකයා ඇතුළු ඔහුගේ පවුලේ උදවිය මියගිය බල්ලා වෙනුවෙන් දැඩි ශෝකයට පත් වී ඌ වෙනුවෙන් හත් දවසේ දානය දුන්නේ උගේ ගුණ යහපත්කම් කියමිනි.


නෝමන් පලිහවඩන
පින්තූර - ධම්මික සල්වතුර

Gossip Lanka Hot News Previous News Archive