පෙර ආත්මය කියන දරුවෙක්,මියගියේ ටිපර් රිය පෙරළිලා

 මීට වසර එකොළහකට (11) පමණ පෙර උඩුගම බාර් හන්දිය අසලදී ටිපර් රථයක්‌ පෙරළීමෙන් මියගිය අයකු අක්‌මීමන කැටන්දොළ ප්‍රදේශයේ පවුලක ඉපදී තම පෙර ආත්මය පිළිබඳව කියන්නට පටන් ගෙන තිබේ.

හත්හැවිරිදි වියේ පසුවන මෙම දරුවා මනුජ මනීෂ ය. ඔහු අක්‌මීමන කුරුඳුවත්ත සුමංගල විද්‍යාලයේ එක වසරේ ඉගෙනුම ලබයි. ඔහුගේ මව සහ පියා පවසන්නේ දරුවා බහ තෝරණ වියේ සිටම පෙර ආත්මය පිළිබඳව නොයෙකුත් විස්‌තර කියූ බවයි.
උපාධිධාරියකු වන මනුජගේ පියා වී. වී. තිලකරත්න මහතා තම දරුවා ගැන මෙසේ මෙසේ කියයි.
"දරුවා තනියම ඉන්න වේලාවට තමයි පෙර ආත්මය ගැන කියන්නේ. කුඩා කාලයේ සිටම වාහනවලට කැමැතියි. මාස දහයේ ඉඳලම සෙල්ලම් වාහන තමයි ඉල්ලන්නේ. උඩුගම ගැන කියනවා, සුදු නෝනා ගැන කියනවා. නිතරම මට කියනවා වාහන ගෙනත් දෙන්න කියලා. තරිඳු සහ හිමාලි ගැනත් කියනවා. නිතරම කෝල් කරනවා. කොළඹ හිටිය බව කියනවා. සිගරැට්‌ බොන විදියට අත හදාගෙන පය පිට පය දමලා පෙන්වනවා.
අක්‌කා අයියා ගැන කියනවා. නිතරම උඩුගම ගෙදර යන්න කතා කරනවා. ගෙදර තියෙන්නේ උඩුගම කියනවා. පොඩි කාලේ ඉඳලම ගාථා කියනවා. බණ පිරිත් අහන්න කැමැතියි. මගේ පුතාලා දෙන්නා දැන් කොට කලිසම් ඇඳගෙන පාසල් යනවායි කියනවා.
වාහනවල කෑලි හොඳට හඳුනනවා. සිංදු කියන්නත් හරි දක්‌ෂයි. පුතාට ඉස්‌සර කියන්නේ සුදු මහත්තයා කියා පුතා කියනවා."

පෙර ආත්මය පිළිබඳව ඇසූ විට හත්හැවිරිදි වියේ පසුවන මනුජ පවසන්නේ මෙලෙසින්
"සුදු නෝනා බලන්න උඩුගම රෝහලට ගියා ටිපර් රථයෙන්. ටිපර් රථයේ දහතුන් දෙනෙක්‌ හිටියා. බාර් හන්දියේ දී ටිපර් එක පෙරළුණා. වාහනයේ දොර කැඩිලා වීසි වුණා. දොර වැදිලා මගේ බෙල්ල කැඩිලා ගියා. මම එතනම ඉවරයි. මම මැරුණා.
මම උඩුගම රෝහලට රැගෙන ගියාට පස්‌සේ දොස්‌තර මහත්වරු මගේ පපුව තද කරලා අල්ලලා ඇඟ උඩ නැගලා ප්‍රතිකාර දෙන්න හැදුවා. එතකොට මම මැරිලා ඉවරයි.
."
මනුජගේ පියා වන තිලකරත්නය තම පුතා ගැන පවසන්නේ 

"පුතා ඉපදුණේ 2005.10.27 වැනිදා. පුතා නිතරම උඩුගම යමු කියලා කියනවා. පුතා කියනවා ඒ මිනිස්‌සු මාව සිහිපත් කරලා තාමත් දාන මාන කරනවා ඇති කියලා. ඉකුත් 25 වැනිදා අපි උඩුගම පොලිසියට ගිහින් පුතාට මේ කියන විදියේ අනතුරක්‌ වුණාද කියලා සොයා බැලුවා. වසර දහයක දොළහක විතර උඩුගම පොලිස්‌ බල ප්‍රදේශය තුළ වූ අනතුරු ගැන සොයා බැලුවා. 

පුතා මේ කියන අනතුර පොලිස්‌ පොතේ සටහන් වෙලා තිබුණා. ඒ පොලිසිය මගින් ලබාදුන් තොරතුරු ඔස්‌සේ තමයි උඩුගම කැටගොඩ පිහිටි පුතා ගිය ආත්මයේ පදිංචිවෙලා හිටපු නිවසට ගියේ. අපි එම නිවසට යන දවසේම තමයි ඒ ගෙදර දානයක්‌ තිබුණේ. මියගිය කෙනාගේ එකොළොස්‌ වැනි අවුරුද්ද සිහි කරලා තමයි දානේ දීලා තිබුණේ.

පුතාගේ පෙර ආත්මයේ නම තමයි හෙට්‌ටිගමගේ උදය කැළුම්. අවුරුදු තිස්‌පහේදී තමයි මියගිහින් තියෙන්නේ. 2001.08.26 වැනිදායි මෙම අනතුර වෙලා තියෙන්නේ. පුතා එම ගෙදරට ගිය ගමන් ගෙදර හිටපු

 අය අපේ හිච්චි මාමා ඇවිත් කියලා දැඩි සතුටෙන් තමයි කිව්වේ. පුදුම බැඳීමක්‌ ඇතිවුණු බව අපට දැනුණා. අනතුරට ලක්‌වුණ රථයේ දොර හඳුනාගෙන පාටත් කිව්වා. එයාගේ ගිය ආත්මයේ පිංතූරය දිහා විනාඩි 10 ක්‌ විතර එකදිගට බලාගෙන හිටියා. 

ගිය ආත්මයේ පුතාගේ පිංතූරත් බැලුවා. ගිය ආත්මයේ පුතා ඉන්නේ කොළඹ. ඔහුත් සමග දුරකථනයෙන් කතා කළා.
" 

පෙර ආත්මයේ මෙම දරුවාගේ අක්‌කා වන හෙට්‌ටිගමගේ ශ්‍රියානි ධර්මලතා මහත්මිය පවසන්නේ මෙලෙසින්. 

"මේ දරුවා කියන කතාව ඇත්ත. අපේ හිච්චි මල්ලි ගෙදරට ආව වගේ හැඟීමක්‌ තමයි මට දැනුණේ. පුතා දැක්‌ක ගමන් පුදුම බැඳීමක්‌ තමයි ඇති වුණේ. මේ දරුවා එන බව පොලිසියෙන් අපට දැනුම්දීලා තිබුණා. මේ දරුවා එනකම් අපි පෙරමඟ බලාගෙන හිටියේ. හිච්චි මල්ලි මියගිහින් අවුරුදු එකොළහේ දානය තිබුණ දවසේම නිවසට ආපු එකත් පුදුම දෙයක්‌. මෙය හාස්‌කමක්‌ වගේ දෙයක්‌. අපේ හිච්චි මල්ලිගේ මුහුණම තමයි මේ දරුවාට තියෙන්නේ. හිච්චි මල්ලි මම උයන කෑම කන්න කැමැතියි. මේ දරුවාත් එදා තනියම බත් පිඟානක්‌ බෙදාගෙන කෑවා. කෑම රස බවත් දරුවා කීවා."

 මුලාශ්‍ර :-  දිවයින

Gossip Lanka Hot News Previous News Archive