ඇත්තු හැප්පෙති එකෙක්‌ මරු දකී

දළ ඇතුන් දෙදෙනකු අතර ඇතිවූ ද්වන්ධ සටනකින් පසු බරපතළ තුවාල ලැබූ දළ ඇතකු මියගොස්‌ තිබේ.

කැකිරාව, බලලුවැව රක්‍ෂිතයේ දෙන්නෑව ප්‍රදේශයේදී සතියකට වැඩි කාලයක්‌ මෙම ගැටුම සිදුවූ බව වන ජීවී අංශ පවසති. මියගොස්‌ සිටි ඇතාගේ වයස අවුරුදු 40 ක්‌ පමණ වන බවත් උස අඩි 09 ක්‌ පමණ බවත් පැවසේ. උගේ දළ යුගල අඩි 3 1/2 ක්‌ පමණ දිගය.

ගැටුමෙන් පසු දින දෙකක්‌ පසු පාද අප්‍රාණිකව වැටී සිටියදී වයඹ කලාප භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා විසින් ප්‍රතිකාර ලබාදී තිබිණි. මියගිය ඇතාගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය 19 දා (ඊයේ) මධ්‍යම හා මහවැලි කලාප භාර පශු වෛද්‍ය ඩබ්ලිව්. ඒ. ධර්මකීර්ති මහතා විසින් පවත්වන ලදී. සුෂුම්නාවට සහ කොඳු ඇට පෙළට සිදුවූ හානි හේතුවෙන් ඇතා මියගොස්‌ ඇති බව වෛද්‍යවරයා නිගමනය කළේය.

බලලුවැව රක්‍ෂිතයට මියගිය ඇතා සහ තවත් අලියකු පැමිණ ඇත. එහිදී සුපුරුදු වාස භූමිය කරගත් බලවන්ත දළ ඇතෙකුගේ ප්‍රහාරයට ආගන්තුක ඇතා ලක්‌වීමෙන් මෙම මරණය සිදුව ඇති බව වෛද්‍යවරයා පැවැසීය.

සීගිරිය - සරත් එරමිණිගම්මන

Gossip Lanka Hot News Previous News Archive