කටුගෙයි හොරුන් ඇල්ලීම ගොතාපු බොරුවක්‌


කොළඹ ජාතික කෞතුකාගාරයේ කෞතුකභාණ්‌ඩ සොරකම සම්බන්ධයෙන් කුඩුකාරයින් පිරිසක්‌ අත්අඩංගුවට ගැනීම පොලිසිය හිතාමතා කළ ප්‍රෝඩාකාරි ක්‍රියාවක්‌ මෙන්ම හාස්‍යජනක ක්‍රියාවක්‌ බව ජාතික හෙළ උරුමයේ නායක ආචාර්ය ඕමල්පේ සෝභිත හිමියෝ පැවසූහ.
අධි ආරක්‍ෂිත කලාපයක පිහිටි ජාතික කෞතුකාගාරයට ඇතුළුවීම අතිශයින්ම සංකීර්ණ හොරකමක්‌ කිරීමට කුඩුකාරයකු වැනි උමතු මිනිසකුට කිසිසේත්ම කළ නොහැකි බවද උන්වහන්සේ සඳහන් කළහ.
ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ඝාතනයේදී හැදුනුම්පත් සාක්‌කුවේ දැමූ මළසිරුරක්‌ වැරදිකරු වූවා සේ ජාතික කෞතුකාගාරයේ හොරකම අවසානයේදී කුඩු පැකට්‌ටුවක්‌ වැරදිකරු වී ඇති බවත් ඒ හිමියෝ අවධාරණය කළහ.


දේශපාලනඥයින්ගේ නැතිවූ දෙයක්‌ සොයා ගැනීම සඳහා පොලිසිය සිදුකරන විමර්ශනය, මහා ජාතික වස්‌තුවක්‌ සොයාගැනීම සඳහා සිදුකර නැති බවත් අවධාරණය කළ ඕමල්පේ සෝභිත හිමියෝ උදාර ජාතික වස්‌තුන් නිසියාකාරව රැක ගැනීමට පියවර නොගැනීම ජාතියේ ඛේදවාචකයක්‌ බවත් පැවසූහ.
කෞතුක වස්‌තු සොරකම සම්බන්ධයෙන් ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ දැඩි අවධානය යොමුවිය යුතු බවත් පැවසූ ඕමල්පේ සෝභිත හිමියෝ නියම සොරුන් සොයාගෙන උදාර ජාතික වස්‌තු නැවත ජාතියට දායාද කරදීම ජනාධිපතිවරයාගේ වගකීමක්‌ බවත් උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.

Gossip Lanka Hot News Previous News Archive