බේරුවල විනෝද
චාරිකාවෙන් බත්තරමුල්ල මළගමක් වෙයි
බේරුවල ප්‍රදීපාගාරය නරඹා පැමිණෙමින් සිටි පිරිසක් රැගත් බෝට්ටුවක් පෙරළී
යැමෙන් එහි ගමන් ගත් කාන්තාවක ඇතුළු පස්දෙනකු මරුමුවට පත්
වී තිබේ. පෙරේදා (22 වැනිදා) සවස සිදුවී ඇති මෙම සිද්ධියෙන්
මියගොස් ඇත්තේ බත්තරමුල්ල දකුණු තලංගම ප්‍රදේශයේ සිට
විනෝද චාරිකාවක් සඳහා බේරුවල ගිය සණස සමිති සාමාජිකයන්
පිරිසක් බව පොලිසිය කියයි.
මෙසේ ජීවිතක්ෂයට පත් වූයේ බත්තරමුල්ල, දකුණු තලංගම, සණස
සමිතියේ සභාපතිවරයකු වූද, කඩුවෙල ප්‍රාදේශීය සභාවේ හිටපු
ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයකු වූද, බත්තරමුල්ල, දකුණු
තලංගම පදිංචිව සිටි ගීගනආරච්චිගේ ගුණරත්න (64), සණස
සමිතියේ උප සභාපතිවරයකු වූ, බත්තරමුල්ල, පැලවත්ත, දකුණු
තලංගම පදිංචිව සිටි චන්ද්‍රසිරි නන්දකුමාර (59), සණස
සමිතියේ අධ්යක්ෂවරයකු වූද, බත්තරමුල්ල, පැලවත්ත, දකුණු
තලංගම පදිංචිව සිටි කෝදාගොඩ විදානගේ ජයවර්ධන (72), සණස
සමිතියේ අධ්යක්ෂවරයකු වූ බත්තරමුල්ල, පැලවත්ත පදිංචිව
සිටි ලොකුපනාගොඩගේ සිරිසේන (72) හා බත්තරමුල්ල, තලංගම
දේසිංහ මාවතේ පදිංචිව සිටි කොත්බැහිගේ මියුරින් සීලවතී
(88) යන අය බවට පොලිසිය හඳුනාගෙන ඇත.
මෙම සිද්ධියෙන් මුළු බත්තරමුල්ල ප්‍රදේශයම එකම මළගමක් බවට
පත් වී තිබේ.
බත්තරමුල්ල, දකුණු තලංගම සණස සමිතියේ සාමාජිකයන් 109 දෙනකු
පෙරේදා (22 වැනිදා) වාර්ෂික විනෝද චාරිකාව සඳහා බස් රථ
දෙකකින් හා වෑන් රථයකින් බේරුවල, මරදාන, ලෙල්ල ධීවර වරාය
අසලට පැමිණ තිබේ. ඉන්පසු මොවුන් බෝට්ටු දෙකකින් වරින් වර
කණ්ඩායම් වශයෙන් ප්‍රදීපාගාරය නැරඹීම සඳහා ගොස් ඇත.
ප්‍රදීපාගාරය නැරඹීමෙන් පසු එම පිරිස නැවත පෙර පරිදි
බෝට්ටු දෙකෙන් කණ්ඩායම් වශයෙන් ගොඩබිමට පැමිණ තිබේ.
අවසන් කණ්ඩායම රැගෙන ආ බෝට්ටුව ගොඩබිමට කිලෝමීටර් තුනක්
පමණ ඈතින් පෙරළී ගොස් අනතුරට ලක් වී තිබේ.
අනතුරට පත් බෝට්ටුවේ දහතුන් දෙනකු ගමන් කර ඇති බවත්,
ඔවුන් කිසිවකුටත් ජීවිත ආරක්ෂක කබා නොතිබූ බවත්,
බෝට්ටුවට ඔරොත්තු නොදෙන තරම් පිරිසක් රැගෙන ප්‍රවාහනය කර
ඇති බවත් හෙළි වූ බව පොලිසිය පවසයි.
බෝට්ටුවේ ගමන් කර ඇති බහුතරයක් දෙනා බීමත්ව සිට ඇති බවටද
හෙළි වී තිබේ. බෝට්ටුව අනතුරට ලක්වූ මොහොතේම මුහුදට
වැටුණු පිරිස බේරා ගැනීමට අවට සිටි පිරිස් හා පොලිසිය
යුහුසුළුව ක්‍රියාකළහ. මෙසේ බේරාගත් කාන්තාවෝ දෙදෙනෙක්
කළුතර, නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති.
ජීවිතාරක්ෂක කබා නොදී අනාරක්ෂිත ලෙස මෙම පිරිස රැගෙන යැම
සම්බන්ධයෙන් බෝටුව පැදවූ අය හා ඔහුගේ සහායක අත්අඩංගුවට ගත්
බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි
අජිත් රෝහණ මහතා පවසයි.
බෝට්ටුවේ සමබරතාව බිඳී යැම හෝ සුළං තත්ත්වය මෙම අනතුරට
හේතුවන්නට ඇතැයි පොලිසිය සැක කරයි.
මේ පිළිබඳ කළුතර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි
ලලිත් පතිනායක, සහකාර පොලිස් අධිකාරි (ෂෂ) සංජීව බණ්ඩාර
යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ බේරුවල පොලිසියේ වැඩබලන
ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියංක සිල්වා මහතාගේ
උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ගුණතිලක, සැරයන් රණවීර
(31113) ඇතුළු නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ
පවත්වති.