දියතලාවේදී හමුදා සෙබළු 6ක්‌ පස්‌ කන්දට යට වී මියයති

SIX SOLDIERS KILLED AS MOUND OF EARTH COLLAPSES
දියතලාව යුද හමුදා කඳවුරේ ගොඩනැඟිල්ලක්‌ ඉදිකරමින් සිටි යුද හමුදා විශේෂ බළකායේ සෙබළුන් පිරිසක්‌ මතට ඊයේ (10 වැනිදා) දහවල් 12.30 ට පමණ පස්‌ බැම්මක්‌ කඩා වැටීමෙන් ඊට යට වූ සෙබළුන් 6 දෙනකු ජීවිතක්‍ෂයට පත්වී තවත් දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇත.



පස්‌ බැම්මට යට වූ සෙබළුන් බැකෝ යන්ත්‍ර යොදාගෙන ඉවතට ගෙන ඇති අතර ඒ වන විටත් සෙබළු 5 දෙනකු මියගොස්‌ සිටි බව යුද හමුදා ආරංචි මාර්ග පැවසීය. රෝහල්ගත කිරීමෙන් පසු තවත් එක්‌ සෙබළකු මියගිය අතර බරපතළ තුවාල ලැබූ සාජන් මේජර්වරයෙක්‌ සහ සාමාන්‍ය සෙබළෙක්‌ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබමින් සිටිති.

දියතලාව යුද හමුදා කඳවුරේ එළිමහන් ප්‍රදේශයක නිවාඩු නිකේතනයක්‌ ඉදිකිරීම සඳහා අත්තිවාරම් කපමින් සිටි සෙබළුන් පිරිසක්‌ මතට මෙම පස්‌ කන්ද කඩා වැටී ඇත. අත්තිවාරම් කපමින් සිටි ස්‌ථානයට ඉහළින් පස්‌ කන්දක්‌ තිබී ඇති අතර ඊට වැලිකොට්‌ට යොදා බැම්මක්‌ මෙන් සකස්‌ කර තිබූ බව ආරංචි මාර්ග පවසයි.

අඩි 30 ක්‌ පමණ වූ මෙම පස්‌ බැම්ම එකවරම හමුදා සෙබළුන් මතට කඩා වැටී ඇති අතර ඔවුන් සියලූ දෙනා ඊට යට වී ඇත.

පසුව යුද හමුදා සෙබළුන් සහ ප්‍රදේශවාසීන් එක්‌ව දැඩි පරිශ්‍රමයක්‌ දරා පස්‌ කන්දට යට වී සිරවී සිටි සෙබළුන් ඉවතට ගෙන ඇත්තේ බැකෝ යන්ත්‍රයක්‌ යොදාගෙනය.

මෙම සිද්ධියෙන් මියගොස්‌ ඇත්තේ යුද හමුදා විශේෂ බළකායේ කෝප්‍රල් ඒකනායක, කෝප්‍රල් ජයලත්, කෝප්‍රල් විඡේපාල, කෝප්‍රල් දසනායක සහ සාමාන්‍ය සෙබළුන් වන බණ්‌ඩාරනායක හා තෙන්නකෝන් යන සෙබළුන් බව හඳුනාගෙන ඇත.

තුවාල ලබා අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන්නේ සාජන් මේජර් සරත් සහ සාමාන්‍ය සෙබළ ජයවර්ධන යන අය බව රෝහල් ආරංචි මාර්ග පැවසීය.

බණ්‌ඩාරවෙල පොලිස්‌ අධිකාරි ජගත් චන්ද්‍රකුමාර මහතාගේ උපදෙස්‌ මත දියතලාව පොලිසියේ වැඩබලන ස්‌ථානාධිපති ඇතුළු නිලධාරීහු පරීක්‍ෂණ පවත්වති. යුද හමුදා පොලිසිය මේ සම්බන්ධයෙන් වෙනම පරීක්‍ෂණයක්‌ පවත්වාගෙන යයි.

Gossip Lanka Hot News Previous News Archive