පිටුවහල් කළ අය 60 න් ආවේ 25 යි-සී.අයි.ඩීය ප්‍රශ්න කරයි

බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ පතා රැඳී සිටියදී පිටුවහල් කරනු ලැබූ 25 දෙනකුගෙන් යුතු පිරිසකගෙන් මේවන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා පවසයි. 

ප්‍රශ්න කිරීමෙන් පසුව ඒ අය සුපුරුදු පරිදි නිදහස් කරලීමට කටයුතු කරන බව ඔහු අද දෙරණට කියා සිටියේය. 



බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කරනු ලැබූ ශ්‍රී ලාංකිකයින් 60 දෙනකුගෙන් පමණ යුතු පිරිසක් යළි දිවයිනට පැමිණෙන බවට මුලදී වාර්තා පළ වුවත් අවසාන මොහොතේ එයින් වැඩි පිරිසක් එරටදීම නීතිමය කටයුතුවලට මැදිහත්වීම නිසා යළි රැඳී ඇති බව වාර්තා වේ. 

කෙසේ වෙතත් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළින් අද (20) උදෑසන මෙරටට ළඟාවූ 25 දෙනකුගෙන් යුතු පිරිසේ පිරිමින් 21 දෙනකුද ස්ත්‍රීන් 4 දෙනකුද සිටින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියි. 

මෙම පිරිස් මඩකළපුව,අම්පාර,ත්‍රීකුණාමලය හා කුරුණෑගල යන ප්‍ර‍දේශවල පදිංචිකරුවන් බව සඳහන්ය. දේශපාලන රැකවරණ ලබා ගැනීම සඳහා වූ ඉල්ලීම් ප්‍රතික්ෂේප වීමෙන් අනතුරුව මෙම පිරිස පිටත් කොට හරින බව බ්‍රිතාන්‍ය බලධාරීන් විසින් නිවේදනය කර තිබිණි. 

හිංසනයෙන් වැළකී සිටීම වෙනුවෙන් පෙනී සිටින සංවිධානයේ එරික් ෆෙනට් කියා සිටින අන්දමට කොටි සංවිධානය සමග සබඳතා තිබු හෝ තිබුණු බවට සැක කෙරන පුද්ගලයින් ශ්‍රී ලංකාවට පිටුවහල් කෙරුණු විට හිංසාවට ලක් වීමට ඉඩ තිබෙන බව විමර්ශන වලින් සනාථ වී ඇති බව බී.බී.සී සංදේශය උපුටා දක්වයි. 

ශ්‍රී ලංකාවට ආපසු යැවීමට නියමිතව සිටි පුද්ගලයෙකු රැඳවුම් මධ්‍යස්ථානයක සිට බී.බී.සී යට කතා කරමින් කියා සිටියේ මීට පෙර ශ්‍රී ලංකාවේ හමුදාව තමන් අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී තමන්ට දැඩිව හිංසා කළ බවයි. 

" මේ පාර මාව අල්ලා ගත්තොත් හිංසා කරලා මරා දමාවි, " යැයි නම හෙළිදරව් කිරීමට අකමැති වූ මේ පුද්ගලයා පැවැසීය. 

තමා හිටපු එල්.ටී.ටී.ඊ කාඩර්වරයෙකු‍ගේ මාමා කෙනකු බව සඳහන් කර ඇති ඔහු ශ්‍රී ලංකාවට යළි ගොස් මරණයට පත්වීමට වඩා බ්‍රිතාන්‍යයේදී සියදිවි හානිකර ගැනීම වඩාත් හොඳ බව පෙන්වා දී ඇත. 

තමන් කොටි සංවිධානය වෙනුවෙන් පණිවිඩ සහ පාර්සල් එහා මෙහා ගෙන ගිය නමුත් ඒ පාර්සල් වල අඩංගු වූ දේ පිළිබඳව වැටහීමක් නොවූ බව මේ පුද්ගලයා වැඩි දුරටත් කියා සිටියේය. 

එසේ වුවත් ශ්‍රී ලංකාවට ආපසු යැවීමට නියමිතව සිටි පුද්ගලයින් කීප දෙනකුම අවසන් මොහොතේදී වාරණ නියෝග ලබා ගැනීමට සමත්වී ඇති බව සඳහන්ය. 

මේ පිළිබඳව බී.බී.සීය කළ විමසුමකට පිළිතුරු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී රජීව් විජේසිංහ කියා සිටියේ, "මේ වැඩි දෙනා ආර්ථික සංක්‍රමණිකයින් දිගටම බ්‍රිතාන්‍යයේ නතර වී සිවීම සඳහා ඒ අය උත්සහා කරාවි. ඒ වෙනුවෙන් කියන දේ විශ්වාස කිරීම හෝ නොකිරීම බ්‍රිතාන්‍යයේ කටයුත්තක්" යනුවෙනි. 

Gossip Lanka Hot News Previous News Archive