ගොයම් කොළ මඬින සුනාමි මැෂිමකට හසු වී 14 හැවිරිදි පාසල් සිසුවකු මියයැමේ ශෝකජනක පුවතක් පෙරේදා (15 දා) දහවල් අරලගංවිල යාය 7 ප්‍රදේශයෙන් වාර්තා විය.
මෙසේ මියගොස් ඇත්තේ අරලගංවිල, යාය 7 හංසයා පාලම ප්‍රදේශයේ පදිංචිව සිටි අම්බල කන්දලාගේ මධුරංග දිල්ෂාන් ජයසූරිය නමැති පාසල් සිසුවෙකි. මෙම සිසුවා පොලොන්නරුව අරලගංවිල ලීලාරත්න විඡේසිංහ මහා විද්‍යාලයේ නවවැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටියේය.
ට්‍රැක්ටර් පැදවීමට ද කැමැත්තක් දැක්වූ මධුරංග සිය පියාගේ ට්‍රැක්ටර් තනිම පදවයි. සිද්ධිය වූ පෙරේදා (15 වැනිදා) පෙරවරුවේ මියගිය සිසුවා තම පියා සමඟ සීයාගේ කුඹුරේ ගොයම් නෙළීමට ගොස් තිබේ.
එහිදී සුනාමි යන්ත්‍රයට ගොයම් ඇතුළු කරමින් සිටියදී ගොයම් මිටියක් බැඳ තිබූ ලණුවක් මධුරංගගේ දකුණු පාදයේ පැටලී ඇති අතර ඒ සමඟම ඔහු යන්ත්‍රය තුළට ඇදී ගොස් එම පාදය හා අත් දෙක යන්ත්‍රය තුළ සිරවී තිබිණැයි පොලිසිය පවසයි.
දරුවන් මෙවැනි කටයුතුවලට යොදාගන්නා විට මීට වඩා අවධානය යොමුකළ යුතු බව පොලිසිය කියයි.
අරලගංවිල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලලිත් රාජමන්ත්‍රි මහතාගේ උපදෙස් මත වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.