Hemakumara claims support from SF, Karu, Hirunika. ප්රජාතන්ත්රවාදී ජනතා සන්ධානයේ නායක සරත් ෆොන්සේකා, එජාපයේ හිටපු නියෝජ්‍ය නායක කරු ජයසූරිය යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා මහජන පක්ෂයේ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මෙනෙවිය මවුබිම ජනතා පක්ෂය සමග ඒකාබද්ධ විපක්ෂයක් ලෙස එක්වීමට එකඟත්වය පළකර තිබේ. ඔවුන් පමණක් නොව විපක්ෂයට අයත් සියලුම දේශපාලනඥයන් එක සෙවණක් යටතේ ඒකරාශී කිරීමේ කර්තව්‍යයට තම පක්ෂය මේ වන විටත් උරදී සිටිතැයි මවුබිම ජනතා පක්ෂයේ නායක ආචාර්ය හේමකුමාර නානායක්කාර මහතා ඊයේ (4දා) පැවැති පුවත් පත් සාකච්ඡාවකදී අනාවරණය කළේය.
සිංහලයේ මහා සම්මත භූමිපුත්‍ර පක්ෂය සමග ඒකාබද්ධ වූ මවුබිම ජනතා පක්ෂයේ ඉදිරි කාර්යභාරය පැහැදිලි කිරීම සඳහා පැවැති මෙම මාධ්‍ය හමුවේදී කරුණු දැක් වූ හේමකුමාර නානායක්කාර මහතා වැඩි දුරටත් සඳහන් කළේ මේ වන විට රට තුළ ගොඩනැගී පවතින අධිපතිවාදය හමුවේ රටේ නීතිය හා සාධාරණත්වය වල් වැදී ඇති බවය.
අද ජනතාව ජීවන බරින් මිරිකී හෙම්බත්ව සිටිය ද ඒ බවක් නොදන්නා හෝ හිතාමතාම අමතක කර සිටින රටේ පාලකයන් රජ සැප විඳින අතර ජාතිකත්වය කටින් වගුරවමින් කතා කරන ඇතැම් ජාතික නායකයන් ජනතාව මත අධික බදු බර පටවමින් ඔවුන් දුකට පත් කරන බවද හේමකුමාර නානායක්කාර මහතා කිවේය.
රටේ වන දහසකුත් එකක් නොපනත්කම් හා අසාධාරණ කම් දැක දැකත් ඒවා නොදුටුවාක් මෙන් සිටීමට නොහැකි වීම නිසා ඉහළ වැටුප්, වරප්‍රසාද හා අනෙකුත් පහසුකම් අතහැර දමා ආණ්ඩුවෙන් එළියට බැස ආ තමන්ගෙන් සුදු වෑන්වලට බය නැද්දැයි අසන පිරිස් සිටින බව කී නානායක්කාර මහතා වැඩිදුරටත් සඳහන් කළේ ලේ පිපාසයෙන් පෙළුණු ප්‍රභාකරන්ටත් බියනොවූ තමන්ගේ ඉදිරි වැඩකටයුතු නතර කිරීමට සුදුවෑන්වලට හෝ නාඳුනන තුවක්කුකරුවන්ට නොහැකි බවය.
ඒ මහතා මෙසේද කීවේය.
අද ඇතැම් දේශපාලනඥයන් ප්‍රසිද්ධියේ කප්පම් ගන්නවා. ස්ත්‍රී දූෂණ හා බාල අපචාර කරනවා. අධිකරණ භූමියේදී පවා පුද්ගලයින් අතුරුදන් කරනවා. අද රටේ රජ කරන්නේ නීතිය නොව කැලෑ නීතියයි. වත්මන් දේශපාලනඥයන් අතරින් අති බහුතරයක් හොරුන් හා තක්කඩියන් බවට පත්වෙලා. ජනතාව ගසා කනවා. රටේ අපනයනය මුළුමනින්ම කඩා වැටිලා. ආණ්ඩුව කරන්නේ ජනතාවගේ මුදල් පික්පොකට් ගසා තමන්ගේ මඩිය තරකර ගැනීමයි. කොටින්ම අද ආණ්ඩුව කටේ නරිවාදම රෙද්දපල්ලෙන් බේරෙනවා.”
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ෂාහුල් හමීඩ් කතා කරමින් අද විපක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා රටේ වන නොයෙකුත් අසාධාරණකම් ගැන කතා කළත් ඒ සියලු අසාධාරණකම්වලට මුල් වී ඇති විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන එක වචනයකුදු කතා නොකරන බවද කීවේය.