කහවත්ත ද්විත්ව ඝාතනය සංවිධානාත්මක කල්ලියකගේ වැඩක්

ප්‍රාදේශීය දේශපාලඥයා බන්ධනාගාරයේ සිට කොන්ත්‍රාත් එක දීලා

කහවත්ත ප්‍රදේශය භීතියට පත්කරමින් ඉකුත් මැයි සහ ජුලි මාසවලදී සිදුවූ කාන්තා ද්විත්ව ඝාතන සිද්ධීන් දෙකම සිදුකර ඇත්තේ මිනීමැරුම් චෝදනා මත දැනට බන්ධනාගාරගතව සිටින රත්නපුර ප්‍රාදේශීය දේශපාලනඥයකු ඇතුළු සංවිධානාත්මක පිරිසක්‌ විසින් ලබාදුන් කොන්ත්‍රාත්තුවක්‌ මත බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම ඝාතන කල්ලිය සඳහා පුද්ගලයන් පස්‌දෙනකු සම්බන්ධ වී සිටි බවටද තොරතුරු මේ වනවිට ලැබී තිබේ.

මෙම ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු සංවිධානාත්මක පිරිස විසින් සිදුකළ බව කියන ද්විත්ව ඝාතනය තමන් විසින් නොකළ බවට ඒත්තු ගැන්වීමට සඳහා මොවුන් සන්නද්ධ පිරිසක්‌ යොදවා මෙම මිනීමැරුම් ද සිදුකර ඇති බව හෙළි වී ඇත.

තවද මෙම සිද්ධිට සම්බන්ධයෙන් දැනට හදුනාගෙන ඇති පුද්ගලයන් තිදෙනා 17 වතාවක් දැනට බන්ධනාගාර ගත වී සිටින සැකකරු දේශපාලඥයා ඇතුළු සගයන් බැලීමට ගොස් ඇති බවට අනාවරණය වී ඇත.

මැයි මස 31 වැනිදා කොටකෙතන ප්‍රදේශයේදී එක කුස උපන් සොහොයුරියන් වූ සේතුංගේ දයාවතී (61) සහ සේතුංගේ තිලකාවතී (52) සහ ජුලි මස 18 වැනිදා කොටකෙතන පදිංචිව සිටි යූ. ඩී. ප්‍රේමාවතී (මව) සහ එම්. පී. පුෂ්පා කුමාරි (දියණිය) යන අය මෙසේ ඝාතනයට ලක්වූවන්ය.

සොහොයුරියන් දෙදෙනා ඝාතනයට ලක්‌වීමට පෙර ඝාතකයන් අතින් දූෂණයට ලක්‌ වී ඇති අතර මව සහ දියණිය මරාදැමීමෙන් පසු දූෂණයට ලක්‌කර ඇති බව ද හෙළි වී ඇත.

මෙම ඝාතන සිදුකිරීමට ප්‍රාදේශීය දේශපාලනඥයා ඇතුළු සංවිධානාත්මක පිරිස්‌ විසින් ඝාතකයන්ට කොපමණ මුදලක්‌ ලබාදී තිබුණේද යන්න මෙතෙක්‌ හෙළි වී නැත.

ද්විත්ව ඝාතන සිද්ධියක්‌ සම්බන්ධයෙන් චෝදනා ලැබ තමන් බන්ධනාගාරගතව සිටියදී පවා කහවත්ත කොටකෙතන ප්‍රදේශයේ අබිරහස්‌ මිනීමැරුම් සිදුවන බවට ඒත්තු ගැන්වීම සඳහා මොවුන් මෙම සැලසුම් සකස්‌කර තිබී ඇත. එවැනි අබිරහස්‌ ඝාතන සිදුකර තමන් නිර්දෝෂී පුද්ගලයන් බවට පෙන්වීමට මොවුන් උත්සාහ කර ඇත.

එහෙත් මෙම අබිරහස්‌ මිනීමැරුම් සියල්ලේම තොරතුරු මේ වනවිට හෙළිදරව් වී ඇති අතර ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස්‌ කණ්‌ඩායම් කීපයක්‌ පරීක්‍ෂණ පවත්වමින් සිටී.

Gossip Lanka Hot News Previous News Archive