විදුලි හොරුන්ගෙන් ලක්ෂ 19 කට අධික වැටලීම් ආදායමක්

ලංවිම හදිසි වැටලීම් අංශ නිලධාරීන් විසින් මේ වසරේ සැප්තැම්බර් මස 22,23 සහ 24 යන තෙදින තුළ දියතලාව ප්‍රදේශයේ සිදුකළ වැටලීම් තුළින් රුපියල් 1,930,240 ක ආදායමක් ලබා ඇති බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.
එම මුදලින් රුපියල් 365,000 ක් උසාවි දඩ වශයෙන්ද, රුපියල් 1,565,240ක් විදුලිබල මණ්ඩලයේ අලාභය ලෙසද ගණන් බලා ඇත.
ඒ අනුව මීටර් වෙනස් කිරීම්, කොකු භාවිතාකර විදුලිය ලබාගැනීම් වැනි අයථා විදුලි පරිහරණයන් පිළිබඳ සිද්ධීන් 34 ක් වාර්තා වී ඇති අතර ඒ අතරින් සිද්ධීන් 20 ක් වංචා සහගත ලෙස මීටර් සැකසීම තුළින් විදුලිය ලබාගැනීම් වේ. ඉතිරි සිද්ධීන් 14 කොකු යොදා අයථා ලෙස විදුලිය ලබාගැනීම් ලෙස හදුනාගෙන තිබේ.


වැසි රහිත කාලගුණික තත්ත්වයක් හමුවේ දැඩි අර්බුදයකට මුහුණදී සිටින විදුලිබල ක්ෂේත්‍රය යම් ස්ථාවරත්වයකින් පවත්වාගෙන යාමටත්, විදුලි පාරිභෝගිකයාට අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදීමටත් විෂයබාර අමාත්‍යවරයා ප්‍රමුඛ ලංකා විදුලිබල මණ්ඩලය ගන්නාවූ සියළු ප්‍රයත්නයන් මෙවැනි වංචාකාරී ක්‍රියා තුළින් ව්‍යර්ථ වන බවත්, ඒ තුළින් අපහසුතාවන්ට මුහුණදීමට සිදුවන්නේද විදුලි පාරිභෝගික ජනතාවටම බවත් විදුලිබල හා බලශක්ති අමත්‍යාංශය අවධාරණය කරයි.

මෙලෙස විදුලි මීටර් වංචනික ලෙස සකස් කිරීම්, කොකු භාවිතා කර විදුලිය ලබාගැනීම් වැනි ක්‍රියාවන් හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට විශාල මූල්‍ය අලාභයක් සිදුවන බව අවධාරණය කරන විදුලිබල අමාත්‍යාංශය, වංචාකාරී පුද්ගලයින් නීතියේ රැහැනට හසුකරදීමට සහයෝගය දක්වන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි. එවැනි යම් වංචාකාරී ක්‍රියාවක් සිදුවන්නේ නම් ඒ පිළිබඳව දුරකතන අංක 2422259 ඔස්සේ ලං.වි.ම. විමර්ශන අංශය දැනුවත් කරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

මෙසේ නීතිය ඉදිරියේ වරදකරුවන් වන අයට පමුණුවන ලබන මූල්‍යමය සහ අනෙකුත් දඩුවම් වලට අමතරව ඔවුන්ගේ විදුලි සබඳතා නැවත ලබාගත නොහැකි අයුරින් විසන්ධි කිරීමද ක්‍රියාත්මක වන බව විදුලිබල අමාත්‍යාංශය වැඩිදුරටත් සඳහන් කරයි.

Gossip Lanka Hot News Previous News Archive