20/20 ලෝක කුසලාන තරඟාවලිය අවසන් විය. එහි ශූරතාව කොදෙව්වන් සතු වූ අතර අපි සුපුරුදු පරිදි අනුශූරයින් වූයෙමු. ලෝක කුසලාන තරඟාවලි 4කම අවසාන තරඟයට පැමිණීමෙන් ලංකාව ලෝක වාර්තාවක් ද තබා තිබේ. එය කිසිදු කණ්ඩායමකට පහසුවෙන් ළඟා විය හැකි වාර්තාවක් නොවන අතර ලංකා කණ්ඩායම පසුගිය කාලය පුරා ලොව අඛණ්ඩව ලොක ප්‍රමුඛ කණ්ඩායම් දෙක අතර සිටි බව ඉන් සනාථ වෙයි. කෙසේ වුව ද අප ලබා ඇති සියලු ජයග්‍රහණ පසෙකලා අවසන් තරඟයේ ලද පරාජය ගැන අද පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත් වේ. ඇතැම්හු ගෙල වැල ලා ගෙන මියෙති. ඇතැම්හු මහින්දට බණිති. ඇතැම්හු කොදෙව් ජයග්‍රහණය වාසනාව නිසා ලද බව පවසති.
මේ තත්ත්වයට ඇතැම් විට හේතු විය හැක්කේ අප අධික ලෙස ජයග්‍රහණය බලාපොරොත්තු වීම සහ තරඟයේ දෙවන ඉනිමේ මුල් පන්දු වාර 10 දක්වා ම ලංකාව ඉදිරියෙන් සිටීම විය හැකිය. මේ සියල්ලෙන් අපට වටහා ගත හැක්කේ අපට තවමත් පරාජය විඳ ගැනීමට තරම් මානසික ශක්තියක් නැති බව නොවෙද? අපි ලොක්කන් වම්හ අපේ කිසි අඩුවක් නොමැත යන ස්වෝත්තමවාදය නොවෙද?
තරඟ පරාජය වෙද්දි ඉන්දියාවේ මෙන් ක්‍රිඩකයින්ගේ ගෙවල්වලට ගල් ගහන මට්ටමක අප නොසිටිය ද අප සිටින්නේ හොඳ මට්ටමක නොවේ. ජයග්‍රහණයට පියවරු සියයක් සිටිය ද පරාජය අවජාතක යැයි කතාවක් තිබේ. ඒ කතාව නැවත සනාථ කරමින් මේ පරාජයේ වඟකීම රටේ ජනාධිපති මත පැටවීමට ආණ්ඩු විරෝධීහු උත්සාහ කරති. මෙය අනුකම්පා කළ යුතු තත්ත්වයකි. මැතිවරණ පරාජය වන්නේ කොම්පියටර් ජිල්මාට් නිසා යැයි කියා රටක් හිනැස්සුවේ ද මොවුන්ගේ නායකයෝය.
කොදෙව්වන් ජය ලැබුවේ වාසනාව නිසා යැයි කියන්නේ ද ඊට නොදෙවෙනි මානසික අසරණයෝය. සමස්ත තරඟය වාසනාව මත තීරණය වේ නම් කළ යුත්තේ කාසිය වාසිය දිනූ නායකයාට කුසලානය ලබා දීමය. පැය ගණන් ක්‍රිඩා කළ යුතු නැත. සිය පරාජය පිළි ගෙන ජයග්‍රාහකයාට සුබ පැතීමට ඔවුන්ට නොහැකි වීම කනගාටුවට කරුණකි. තමන්ට වඩා මහජන කැමැත්ත දිනූ පුද්ගලයෙක් ඇතැයි පිළිගැනීමට උතුරු මැද බර්ටි ප්‍රේමලාල් උන්නැහේට නොහැකිය. පරාජයේ දී ගෙල වැල ලා ගන්න අය දිනුවේ නම් හාට් ඇටෑක් එකකින් මිය යාමට ඉඩ තිබිණි. මධ්‍යම ප්‍රතිපදාව එනම් සියල්ල සම සිතින් දරාගත යුතුය යන දහම අනුගමනය කරන රටේ තත්ත්වය එහෙමය.
ලෝක ක්‍රිකට් ඉතිහාසයේ ස්වර්ණමය අතීතයක් ඇති කලක් එහි ආධිපත්‍ය දැරූ කොදෙව්වන්ට මෙවර ලෝක කුසලානය හිමි වීම පිළිබඳ මට ඇත්තේ සතුටකි. (1975/79 ලෝක කුසලානය දිනූ කොදෙවෝ එකල ලෝක ක්‍රිකට් ආධිපත්‍ය දරා සිටියහ.) අපේ කණ්ඩායම පරාජය වීම පිළිබඳ කිසියම් කනගාටුවක් මා තුළ පැවතිය ද කොදෙව්වන්ගේ නිහතමානි මහත්මා ගති නිසා එය ද පහව යයි. ඕසට්‍රේලියාව සහ කොදෙව්වන් අතර තරඟයේ දී මා පැතුවේ ද කොදෙව් ජයග්‍රහණයයි. මගේ මිතුරන් කීවේ ඕස්ට්‍රේලියාව ජය ගැනීම අපට වාසි බවය. එහෙත් මගේ තර්කය එය එසේ නම් අදක්ෂයින් සමඟ තරඟ කොට ලබන ජය ද නොවටිනා බවය. අප තරඟ කොට දිනිය යුත්තේ සැබෑ දක්ෂයින් සමඟ මිස දුර්වලයින් සමඟ නොවේ. මෙවර ලෝක කුසලානය දිනුවේ සැබෑ දක්ෂයින් බව මගේ හැඟීමයි. තමන් දැන් 20/20 ලෝකයේ හොඳම කණ්ඩායම බව අර්ධ අවසාන තරඟයේ දීම කොදෙව්වෝ සනාථ කළහ.
අප කළ යුත්තේ වැදගත් මහත්වරු ලෙස කොදෙව්වන් ලද ජයග්‍රහණයට සුබ පතා අපේ දුර්වලතා හදා ගැනීම මිස උඹලා කණාවට දිනුවා යැයි මෝඩ චූන් ගැනීම නොවේ. මේ තර්කය අප වෙත පරාවළල්ලක් විය හැකි බව ඔවුන්ට නොපෙනේ. 1996 ලංකාව ලෝක කුසලානය දිනුවේ කණාවට යැයි කෙනෙකුට තර්ක කළහොත් අපට කිය හැක්කේ කුමක්ද? මන්ද එවක බොහෝ දෙනා සිතුවේ ඕසට්‍රේලියාව කුසලානය දිනා ගනු ඇති බවය.
ලංකා කණ්ඩායම පසුගිය කාලය පුරා ලොව ප්‍රබල කණ්ඩායම් කිහිපය අතර ඉහළින් ම සිටි බව ඇත්තකි. එහෙත් 1996 ඔවුන්ම මුල්වී ක්‍රිකට් තරඟ විලාසය උඩු යටිකුරු කිරීම සමඟ ඇති වූ නව තත්ත්වය මැනවින් ග්‍රහණයට කර ගැනීමට ලංකා කණ්ඩායම අසමත් වීම නැවත ලෝක කුසලානයක් දිනා ගැනීමේ සිහිනය අපෙන් ඈත් වීමට හේතු වී ඇති බව මගේ විශ්වාසයයි. එතෙක් කල් ක්‍රිකට් ක්‍රිඩාව තුළ මුල් බැස පැවතියේ ඉංග්‍රීසි සම්ප්‍රදායයි. එනම් පහරක තාක්ෂණය, අලංකාරය පිළිබඳ ප්‍රමුඛව ද ලකුණු පිළිබඳ දෙවනුව ද සිතන සම්ප්‍රදායයකි. එකල හොඳ පන්දුවලින් සිය විකට්ටුව ආරක්ෂා කර ගනිමින් දුර්වල පන්දුවලට තාක්ෂණයෙන් පිරිපුන් අලංකාර පහර එල්ල කරමින් විකට්ටුවේ බොහෝ වෙලාවක් රැඳී සිටීම අගය කෙරිණි.
එහෙත් සනත් සහ කළුවිතාරණ මුල් ඕවර 15 යාර තිහේ සීමාවට ඉහළින් දැවැන්ත පහර එල්ල කරමින් ඇති කළ සම්ප්‍රදාය එතෙක් පැවති ඉංග්‍රීසි සම්ප්‍රදාය වෙනස් කළේය. එම නව සම්ප්‍රදාය විසින් 96 කුසලානය දිනා ගැනීම සමඟ ලොව සෙසු රටවල් ද එම සම්ප්‍රදායට අනුගත වීමට උත්සාහ කළහ. තව දුරටත් තරඟ ජයග්‍රහණය කිරීමට නම් එය අනීවාර්ය විය. එහෙත් එම සම්ප්‍රදාය තවත් වැඩි දියුණු කිරීමට තබා එය පවත්වා ගෙන යාමටවත් අපට නොහැකි විය. අප තවමත් ක්‍රිඩකයින් පුහුණු කරන්නේ ද සංචිතවලට තෝරන්නේ ද පැරණි ඉංග්‍රීසි සම්ප්‍රදාය අනුවය. එහෙයින් දැන් අපට සනත්-කළු වැනි ප්‍රහාරාත්මක පිතිකරුවන් නොමැත. එහෙත් ක්‍රිස් ගේල්, මාලන් සැමුවෙල් වැනි සනත්-කළු පන්නයේ පිතිකරුවන් කොදෙව් කණ්ඩායමේ ඇත.
ඔවුන්ගේ ජයග්‍රහණයේ රහස එම පිතිකරුවන් සහ ඉතා සංයමයෙන් උපක්‍රමශිලීව ක්‍රිඩා කිරීම බව මගේ හැඟීමයි. එය වාසනාවට ලඝු කිරීම අපේ රටේ ක්‍රිකට් අනාගතයට එතරම් හොඳ නොවනු ඇත. දැන් අප කළ යුත්තේ තමන් ලොවට හඳුන්වා දුන් නව සම්ප්‍රදාය ඉදිරියට ගෙන යාමට ශක්තිමත් ක්‍රිඩකයින් පිරිසක් නිර්මාණය කර ගැනීමය. නව ක්‍රිකට් සංස්කෘතියට අනුව නව උපක්‍රම අත්හදා බැලීමය. 96 අපේ ජයග්‍රහණයේ ද 2012 කොදෙව් ජයග්‍රහණයේ ද පදනම එය එය බව මගේ හැඟීමයි.
- නාමල් උඩලමත්ත