සුන්දරත්වය හා සංවර්ධනය හරහා දුම්බරින් බින්තැන්නට යන අලුත් පාර

සුන්දරත්වය හා සංවර්ධනය හරහා දුම්බරින් බින්තැන්නට යන අලුත් පාර....

කන්ද උඩරට රාජධානිය බොහෝම කාලයක්‌ සතුරු කරදර හිරිහැර අපල උපද්‍රව වලින් තොරව නිදහසේ පැවැතිගේ එය වටා නිරතුරුවම පැවැති ස්‌වභාවික ආරක්‍ෂාව නිසාය. එදා කන්ද උඩරටටත් මධ්‍ය කඳුකරයටත් ආරක්‍ෂාව ලැබී තිබුණේ එයට ප්‍රවේශ වන හැම මාර්ගයක්‌ම ගිරිදුර්ග, වන දුර්ග, කඳු දුර්ග හා ජල දුර්ග හරහා වැටී තිබූ නිසාය....

පසු කලෙක යුරෝපීයයෝ වතු ආර්ථිකය මෙරටට හුරු පුරුදු කිරීමත් සමඟම උඩරටට ප්‍රවේශ මාර්ග කිහිපයක්‌ද සදා නිම කළහ. එහෙත් ඒ සෑම මාර්ගයක්‌ම වැටී තිබුණේ පෙරකී දුර්ග මාර්ග හරහා වීම ම විශේෂත්වයකි....

ඒ අනුව කඩුගන්නාව දුර්ගය හරහා නුවර-කොළඹ මාර්ගය ඉදිවී දියුණු වූයේ ය. බලන, ගලගෙදර දුර්ග හරහා නුවර, මාතලේ, කුරුණෑගල මාර්ග පද්ධති බිහි වූයේය. ඇල්ල-වැල්ලවාය දුර්ග හරහා දකුණ උඩරටට සම්බන්ධ වූයේය.


ඒ ආකාරයට මහනුවර සිට මහියංගනය හරහා නැගෙනහිර ප්‍රදේශයට සේන්දුවන මහා මාර්ගය ඉදිකළේ ද ලංකාවේ පවතින රමණීය කඳුකර ප්‍රදේශයක්‌ හරහා වූ සුවිශේෂ වන ගිරි දුර්ග ගණනාවක්‌ හරහාය... දුම්බර කඳු පෙතේ නැගෙනහිර බෑවුම මත පිහිටි මහා මූකලානයත් ඒ මූකලාන බිමින් වැසීගිය සුවිශේෂී දළ බෑවුමක්‌ ඔස්‌සේ එදා ඉදිකළ අසීරු ගමන්මග අප අතීත මහාමාර්ග තාක්‍ෂණයේ නව පරිච්ඡේදයක්‌ සනිටුහන් කළ වහ මගක්‌ යෑයි කිවහොත් නිවැරදිය.

ඊට හේතුව වූයේ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුමේ පිහිටි හුන්නස්‌ගිරිය කඳු මස්‌තකයේ සිට එකවරම බිම්තැන්න ඌව වෙල්ලස්‌ස තැනිතලාව පටන් ගන්නා අඩි දහස්‌ ගණනක්‌ එකවර පහත්ව යන පාතාල ලෝකය දක්‌වා ඉතා කෙටි දුර පරාසයකදී පාර කපා නිම කළ යුතුව තිබීමය.

එදා ඒ සුදු ජාතික ඉංජිනේරුවෝ වගකීම කර මතට ගත්හ. කඳු මුදුනේ සිට පතුලේ පෙනෙන බින්තැන්න තැනිතලාව දක්‌වා යන ගමන්මග උපරිම තාක්‍ෂණය යොදා ඉදිකරන්නට පටන් ගත්තේය. මාර්ගය වැලමිටි වංගු 18 ක්‌ ඔස්‌සේ පහතට බෑවුම්කර රූස්‌ස වනය දෙබැකරමින් සුපතල 18 වංගුව පාර එදා තැනුවේ මේ රටේ මාර්ග ඉදිකිරීම් ඉංජිනේරු තාක්‍ෂණ ඉතිහාස පොතේ තවත් එක්‌ වටිනා පරිච්ඡේදයක්‌ ලියවා තබමිනි.

එදා පටන් මහනුවර සිට මහියංගනයට හෝ නැගෙනහිර පෙදෙසට යන කොයිකාටත් මහත් ගමන් පහසුවක්‌ ලැබිණි. පහසුවක්‌ පමණක්‌ මනොව, 18 වංගුව මාර්ගය වන්දනා කරුවන්ටත් විනෝද ගමන් යන්නන්ටත් කදිම ආශ්වාදයක්‌ ගෙන දෙන මාර්ගයක්‌ ද වීය. ශීතල හුන්නස්‌ගිරිය නැග දුම්බර කඳුවැටියටම ආවේනික කුරු ඝණ මහ කැලයෙන් වැසීගිය දුම්බර වනාන්තර පසුකොට එකවරම පහළට බෑවුම් වන වංගු 18 සහිත අසීරු මග ඔස්‌සේ හෙමි හෙමිහිට සීරුමාරුවට පහළ ඇති බිංතැන්නට පිවිසීම වාහනවලට ඒවායේ රියදුරන් ට මෙන්ම මගීන්ටද අභියෝගයකි. හොඳ අභ්‍යහාසයකි... සියල්ල අවසානයේ විනෝදාස්‌වාදයට ම හේතු වන අමතක නොවන ගමනකි.

කාලාන්තරයක්‌ තිස්‌සේ මේ 18 වංගුව අපේ රටේ පරම්පරා ගණනාවකටම ගමන් පහසුව සලසාදුන් බව සැබෑය. අනතුරු බහුල වූයේ යම් යම් කාල වලදී ඒ මග හරි නඩත්තූවක්‌ නොමැතිව තැන් තැන් අභාවයට යැම නිසාය. සමහර නොහික්‌මුණු අසංවර රියදුරන්ගේ ඉක්‌මන් කාරකම් නිසාද අනතුරු වූ අවස්‌ථා එමටය.

කෙසේ වෙතත් දැන් ඒ අනතුරු බහුල දුෂ්කර පටු අසීරු මග මේ දුම්බර කඳුපෙත ඔස්‌සේ දක්‌නට නැත. අද ඇත්තේ ඒ මග වඩ වඩාත් පළල් කර අනතුරුදායක වැලමිටි වංගු සියල්ල නූතන රථවාහන ගමනය සඳහා මනාසේ සාදා නිමකළ අති නවීන ගමන් මාර්ගයකි.

18 වංගුවෙහි ඇති විශ්මිත වංගු එකක්‌ වත් දිග හැර නැත. වංගු එලෙසම පවතින ලෙස මාර්ගය සාදා පුළුල්කර පැකිබැමි වඩාත් ශක්‌තිමක්‌ කර, සුදුසු වේගයද ආරක්‍ෂා කර ගනිමින් වඩාත් ආරක්‍ෂිතව වටපිටෙහි ඇති සුන්දරත්වය බලමින් නිදහසේ යා හැකි ගමන් මගක්‌ දැන් ඒ ප්‍රදේශය හරහා ඉදිවී මහජන සුබ සිද්ධිය සඳහා විවෘත කර අවසන්ය.

රටක සංවර්ධනය සඳහා අත්‍යාවශ්‍යම කාරණාව සම්පත්ය. ඒවා ආහාර පාන හෝ වේවා, ගල් වැලි ගඩොල් හෝ වේවා, පුහුණු, නොපුහුණු කායික මානසික ශ්‍රමය හෝ වේවා, කර්මාන්ත සඳහා ගන්නා අමුද්‍රව්‍ය හෝ වේවා.... සියල්ල සම්පත්ය. සංවර්ධනයට අවශ්‍ය වන්නේ සම්පත් තිබෙන් තැනින් අවශ්‍ය තැනට ගෙනගොස්‌ එකලස්‌කර කළමනාකරණය කිරීමය. රටකට හොඳ මාර්ග පද්ධතියක්‌ අවශ්‍ය වන්නේ සම්පත් ඇති තැනින් නැති තැනට හෝ අවශ්‍ය තැනට ප්‍රවාහණය කර ගැනීමටය.

පාරවල් අපේ සංවර්ධනයට මහැඟි කාර්ය භාරයක්‌ ඉටු කරන්නේ ඒ අනුවය. එදා පැය 4 කින් පමණ මහත් දුෂ්කර මගක්‌ ගෙවා මහත් වැර වෑයමින් ගිය ගමනක්‌ පැය 2 ක්‌ තුළ වඩාත් පහසුවෙන් නිම කිරීමට ඉඩ හසර සලසමින් 18 වංගුව අලුත් පාර බිහිව ඇත්තේ තවත් සංවර්ධන මාවතක්‌ රටට විවිර කරමින් යෑයි මට සිතෙන්නේ ඒ නිසාය.







බුලිත ප්‍රදීප් කුමාර 

Gossip Lanka Hot News Previous News Archive