කොලොන්නාව කුණු කන්ද


ජනතා ගැටළු  විසඳීමේදී කිසිඳු දේශපාලන බේදයකින් තොරව වත්මන් ආණ්ඩුව ක්‍රියාකරන බවත් ඊට හොඳම උදාහරණය කොළඹ මහ නගර සභාවේද සහයෝගය ඇතිව මීතොටමුල්ල කැළිකසල  කන්ද ගිලාබැසීම හේතුවෙන් නිවාස විනාශ වූ පවුල් වලට සහන සැලසීම තුළින් පෙන්නුම් කෙරෙන බවත් ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. කොළඹ මහ නගර සභාව මෙම ප්‍රදේශයට වැඩි වශයෙන් කැළිකසල බැහැර කළත් එය මහ නගර සභාව වගකිවයුතු ප්‍රශ්නයක් කියා ආණ්ඩුව නිහඬව නොසිටි බවත් මෙහි ජීවත්වන  ජනතාවගේ ගැටළු විසඳීමට වගකිව යුතු ආකාරයෙන් වත්මන් ආණ්ඩුව ක්‍රියාකර ඇති බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ
මීතොටමුල්ල කැළිකසල කන්ද හේතුවෙන් විපතට පත් පවුල් වෙනුවෙන් ගන්නා ක්‍රියාමාර්ග පිළිබඳව එම පවුල් දැනුවත් කිරීම සඳහා කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලීය ශ්‍රවනාගාරයේදී පැවති විශේෂ රැස්වීමකට සහභාගී වෙමිණි. විමල් වීරවංශ අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම රැස්වීම සංවිධානය කරන ලද්දේ කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මඟිනි.
මෙහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ අමාත්‍යවරයා “ කොළඹ මහ නගර  සභාව මෙතන කැළිකසල දාපු නිසා මේකට වගකියන්න ඕන කොළඹ  මහ නගර සභාවයි කියන පටු දේශපාලන කෝණයකින් අපි මේ ගැටළුව දෙස බැලුවේ නැහැ. අතිගරු ජනාධිපතිතුමාගේ, බැසිල් රාජපක්ෂ ඇමතිතුමාගේ උපදෙස් පරිදි ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේද සහයෝගය ඇතිව මෙම අසරණ පවුල් වෙත සහන ලබාදෙනවා. කොළඹ මහ නගර සභාවට අමතරව නාගරික සංවර්ධන අධිකාරියත් මෙම පවුල් වලට නිවාස ලබාදීමේ  වැඩසටහනට  දායකත්වය ලබාදෙනවා. කොළොන්නාව අසලින් සුදුසු ඉඩමක් හඳුනාගෙන එහි ස්ථීර නිවාස ලබාදීම සිදුකෙරෙනවා. ඒ ගැන කිසිඳු සැකයක් ඇතිකරගන්න එපා. එතෙක් මෙම පවුල් වලට වසර 2 ක උපරිම කාලයකට කුලී නිවාස වල  ජීවත්වීම සඳහා  මාසයකට රුපියල් දස දහස (10,000) බැඟින් ලබාදීමට කොළඹ මහ නගර සභාව එකඟ වී තිබෙනවා. කුලී නිවාස වලට අත්තිකාරම් ලබාදීම සඳහා මාස 3 ක මුදල් රුපියල් තිස්දහසක් එකවර ලබාදෙන්නත් එකඟවී තිබෙනවා. ස්ථීර නිවාස ඉදිකරන ඉඩම හා එම නිවාස ඉදිකෙරෙන දින වකවානු ලබන සඳුදා (22) පැවැත්වෙන විශේෂ රැස්වීමකදී තීරණය කෙරෙනවා. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාත් එම සාකච්ඡාවට සහභාගී වනවා. ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වෙලාවේ විදේශගතව සිටියත් මේ පිළිබඳ නිරන්තරයෙන් දුරකථනය ඔස්සේ අප සමඟ සම්බන්ධ වී අවශ්‍ය සහයෝගය ලබාදුන්නා. වගකිවයුතු රජයක් ලෙස අප ක්‍රියාකරන්නේ නීතියට වඩා සදාචාරාත්මක බැඳීමක් ජනතාව සමඟ අපට තිබෙන නිසයි. මේ ගැටළුව වටහාගෙන ඊට අවශ්‍ය පහසුකම් ලබාදීම සඳහා සහයෝගය ලබාදුන් ජනතාවට ස්තූති කරනවා.” යනුවෙන්ද වැඩිදුරටත් අදහස් දැක්වූ විමල් වීරවංශ  අමාත්‍යවරයා ප්‍රකාශ කර සිටියේය.
මෙහිදී අදහස් දැක්වූ කොළඹ පුරපති ඒ.ජේ.එම්. මුසම්මිල් මහතා,  මෙම පවුල් වලට ස්ථීර නිවාස ලැබෙනතුරු තාවකාලිකව කුලී පදනම මත ජීවත්වීම සඳහා අවශ්‍ය නිවාස කුලිය ලබාදීමට කොළඹ මහ නගර සභාවේ මහා සභා රැස්වීමේදී අනුමැතිය ලැබුණු බව ප්‍රකාශ කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා කියා සිටියේ විපතට පත් පවුල් වලට කඩිනමින් ස්ථීර නිවාස ලබාදීමට රජය කටයුතු කරන බවයි. මී‍තොටමුල්ල කැළිකසල කන්ද අවට දැඩි අනාරක්ෂිත ප්‍රදේශයක් වශයෙන්  භූ විද්‍යාඥයින් විසින්  නම්කර තිබෙන නිසා ඒ අවට ජීවත්වීම නුසුදුසු බවත් එම නිසා සතියක් ඇතුළත එම ප්‍රදේශයෙන් ඉවත්වීම වඩාත් සුදුසු බවත් අනුර සේනානායක මහතා  ප්‍රකාශ කළේය. මෙම ප්‍රදේශය තුළ පොළොව තවත් ගිලා බැසීම් වලට ලක්වීමට බෙහෙවින් ඉඩ තිබෙන නිසා ඒ ගැන අවධානයෙන් සිටින ලෙසද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. ලබන සඳුදා (22) වෙනිදා නිවාස කුලී මුදල්  කොළොන්නාව ප්‍රාදේශීය  ලේකම් කාර්යාලයේදී ලබාදෙන බවත් මේ සම්බන්ධයෙන් යම් යම් ගැටළු පවතී නම් ඒ පිළිබඳ ලිඛිතව කොළොන්නාව ප්‍රාදේශීය ‍ලේකම්වරයාට ලබාදෙන ලෙසද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම  අවතැන්  පවුල් වෙනුවෙන් වියළි  ආහාර මහින්ද අමරවීර අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ආපදා කළමනාකරණ අමාත්‍යාංශය මඟින් මේ  වන විටත් ලබාදී ඇත.
කොළඹ මහ නගර සභාව විසින් වසර ගණනාවක් තිස්සේ සිට කොළොන්නාව, මීතොටමුල්ල ප්‍රදේශයේ අක්කර 12 කට වැඩි භූමි බාගයක් තුළ කැළිකසල බැහැර කිරීම සිදුකර තිබෙන බවත් දිනකට   කැළිකසල මෙට්ට්‍රික් ටොන් 800 ක් පමණ  කොළඹ මහ නගර සභාව විසින්  මෙම ප්‍රදේශයට බැහැර කරන බවත් එමඟින් අඩි 300 ක පමණ  උස කැළිකසල කන්දක් සෑදී තිබෙන බවත් වාර්තාවේ. මෙම අධික බර සහිත කැලිකසල කන්ද නිසා  ඇතිවන තෙරපුමෙන් මෙම ප්‍රදේශය අවට නිවාස ගිලාබැසීමේ තත්ත්වයක් මතුවී ඇති අතර ඒ හේතුවෙන් කොළොන්නාව, මීතොටමුල්ල, දහම්පුර, පන්සල්හේන, 101 වත්ත, 23 වත්ත යන ප්‍රදේශවල ස්ථීර පදිංචි පවුල්  163 ක පමණ  නිවාස දැනටමත්  විනාශ වීමේ  අවධානමකට ලක්වී තිබේ.

Gossip Lanka Hot News Previous News Archive