පොලිසියේ අය උන්ගේ පැත්තමයි ගන්නේ..
පසුගිය වසරේ (2011) නොවැම්බර් 25 වැනිදා පානදුර ගොරකානේ සොහොන් භූමිය අසල සමන් සිරි පීරිස් (පාලිත) නම් 43 වියැති තිදරු පියා අභිරහස් ලෙස මරණයට පත් වී සිටියේය.
කිසිදු තොරතුරක් හෙළිකර ගත නොහැකිව ඔහුගේ මරණය මෙතෙක් අභිරහසක්ව පැවතුණි. නමුත් ඔහුගේ බාලම දියණිය වන තිළිණි ඉෂාරා නමැති 11 හැවිරිදි දැරිය ආරූඪයෙන් මෙන් තම පියාගේ මරණය ගැන සියලු විස්තර හෙළි කර තිබේ. 6 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන තිළිණි පවසන ආකාරයට තම පියාගේ මරණය මිනීමැරුමකි.
“මගේ (පියාගේ) රැකියාව පොහොර නිෂ්පාදනය කර අලෙවි කිරීමයි. එදා හවස මම පොහොර ගෙන එන්න ගොරකානට ගියා. එදා විදුලි කොටමින් හයියෙන් වැස්සා. මම හිටියේ හරක් මඩුවක. ඒ වැස්සේම එතැනට ආපු හතර දෙනෙක් මාව වටකරගෙන ගැහුවා. ගහනකොට උන් මගෙන් ඇහුවා උඹේ බිරිඳයි, දරුවන් තිදෙනාවයි විනාශ කරන්නද නැත්නම් උඹේ ගේ දෙනවද කියලා. එහෙම අහලා මට හොඳටම පහර දුන්නා.
මගේ ගේ දුන්නම අපි ඉන්නේ කොහෙද කියලා මා ඇහුවා. ඒව අහන්නේ නැතිව උන් කිව්වේ ගේයි ඉඩමයි දුන්නේ නැතිනම් මාව එල්ලනවා කියලයි. උන් මගේ ඇස් දෙක බැන්දා බෙල්ලට ලණුවක් දැම්මා. මම හයියෙන් කෑගැහුවා. මගේ හඬ ප්‍රදේශය පුරා පැතිර යන්න ඇති. නමුත් කවුරුවත් මිනිස්සු ආවේ නැහැ. ත්‍රීවීල් එකක කකුල් හප්පලා මගේ කකුල් කැඩුවා. දරුවන්ගේ භාරය ඔප්පු කරන්න සිරිපාදේ යන්න රුපියල් 16,000 ක් කැබිනට් එකේ තිබ්බා. ඒවත් උන්ගත්තා. බැංකුපොත් ටිකත් ගත්තා. ත්‍රීවීල් එකේ ණය ගෙවන්න තිබූ සල්ලිත් උන් ගත්තා.
මේ හැම දේම වෙලා ගෙදර අය පොලීසියට ගියත් වැඩක් වුණේ නැහැ. පොලිසියේ අය ගෙදර අයව පන්නා ගන්නවා. පොලිසියේ අය උන්ගේ පැත්තමයි ගන්නේ.
උන් මට ගහලා එතැන අරක්කු බීලා ඉතිරි අරක්කු මගේ ඇඟේ හැලුවා. අරක්කු බීලා මම එල්ලුනා කියලා පෙන්වන්නයි ඒක උන් කළේ. මගේ අම්මා මගේ බිරිඳට උදව් උපකාර කළේ ආදරේට නෙමෙයි. මගෙන් ගේ දෙනවද කියලා ඇහුවේ සුසිල්. මට ගැහුවේ කරුණගේ හා සුනිල්ගේ පුත්තුයි. මේ මිනීමරුවන්ට නිසි දඬුවම් දෙන්න. එතකොට මේ ශරීරයෙන් මම අයින් වෙනවා.”
මේ තිළිණිගේ ශරීරයට අරක් ගත් මියගිය ඇගේ පියාගේ වචනයි.
දැරියගේ මේ ප්‍රකාශය පිළිබඳව පවුලේ ඥාතීන් පොලිසියට දැනුම් දී තිබේ. නමුත් මේ පවුලේ සියලු දෙනා ආරක්ෂාව පතා ප්‍රදේශයෙන් ඉවත්ව ගොස් වෙනම පදිංචිව සිටිති.