Pages

ලංකාව පුරා වෛද්‍යවරු අද වැඩ වැඩ වර්ජනයේ


රජයේ වෛද්‍යවරුන් ඇතුළු සමස්‌ත රාජ්‍ය සේවකයන් සඳහා 1:12අනුපාතයට අනුව වැටුප් වැඩි කිරීම ඇතුළු සේවා ඉල්ලීම් තුනක්‌ මුල් කර ගෙන රජයේ රෝහල් වෛද්‍යවරුන් අද (25දා) දීප ව්‍යාප්ත එක්‌දින සංකේත වැඩ වර්ජනයක්‌ ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.
අද උදැසන 8සිට හෙට (26දා) උදැසන 8දක්‌වා ක්‍රියාත්මක කෙරෙන මෙම වැඩ වර්ජනය සඳහා බොරැල්ල රිජ්වේ ආර්යා ළමා, කාසල් වීදිය කාන්තා, ද සොයිසා කාන්තා, මහරගම පිළිකා, පේරාදෙණිය සිරිමාවෝ බණ්‌ඩාරනායක ළමා යන රෝහල් පහේ වෛද්‍යවරුන් හැර දිවයිනේ සෙසු සියලු රජයේ රෝහල් වෛද්‍යවරුන් සහභාගි වන බව වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක නවීන් ද සොයිසා මහතා පැවැසීය.

ඊයේ (24දා) පැවැති වෛද්‍ය නිලධාරින්ගේ සංගමයේ විධායක කමිටු රැස්‌වීමේදී මෙම වර්ජන තීරණය ගෙන තිබේ.
අද පැවැත්වෙන එක්‌ දින සංකේත වැඩ වර්ජනය හරහාද තම ඉල්ලීම් දිනා ගත නොහැකි වුවහොත් ලබන නොවැම්බර් 01වැනි බ්‍රහස්‌පතින්දා පැවැත්වෙන සංගමයේ විධායක කමිටු රැස්‌වීමේදී ඉදිරියේදී ක්‍රියාත්මක කරනු ලබන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයන් පිළිබඳව තීරණයක්‌ ගන්නා බව වෛද්‍ය සොයිසා කීවේය.
අද වැඩ වර්ජනය ක්‍රියාත්මක වන කාලසීමාව තුළදී රජයේ රෝහල්වල සිදු කෙරෙන බාහිර රෝගී අංශ සායන සාමාන්‍ය ප්‍රතිකාර හා සැත්කම් කටයුතු සිදු නොවන අතර හදිසි ප්‍රතිකාර හා සැත්කම් පමණක්‌ සාමාන්‍ය පරිදි සිදු කෙරෙන බව ඔහු සඳහන් කළේය. තම සංගමය ඉල්ලා සිටින 1:12අනුපාතයට අනුව ඉන්දීය වෛද්‍යවරුන්ගේ වැටුප් එරට රජය විසින් වැඩි කර ඇති අතර එය මෙරට රජයද ආදර්ශයට ගත යුතු බව හෙතෙම පැවැසීය.
2006/06චක්‍ර ලේඛයට අනුව රජයේ වෛද්‍යවරුන් ඇතුළු සමස්‌ත රාජ්‍ය සේවකයන්ගේ වැටුප් 1:12අනුපාතයට අනුව වැඩි කිරීම, රාජ්‍ය පරිපාලන චක්‍ර ලේඛ අංක 22/99අනුව රජයේ අනෙකුත් සමාන්තර ශ්‍රේණියට හිමිව ඇති නිල ප්‍රවාහන පහසුකම් හදිසි හා අත්‍යවශ්‍ය සේවාවන් පවත්වාගෙන යන වෛද්‍යවරුන්ට ලබා දීම හා වෛද්‍යවරුන්ට ලබා දීමට පොරොන්දු වී ඇති සියලු දීමනා ලබාදීම යන ඉල්ලීම් මුල් කරගෙන අද දින වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බව වෛද්‍ය සොයිසා වැඩිදුරටත් පැවැසීය.
රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගම් මූලස්‌ථානයේ ඊයේ (24දා) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවක්‌ අමතමින් ඔහු මෙම කරුණු අනාවරණය කළේය. වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නලින් ආරියරත්න මහතාද මෙහිදී අදහස්‌ දැක්‌වීය.
මේ අතර රජයේ වෛද්‍යවරුන්ගේ ඉල්ලීම් සම්බන්ධව අද (25දා) දින මහා භාණ්‌ඩාගාර ලේකම්වරයා සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බැවින් වැඩවර්ජනය ක්‍රියාත්මක කිරීමෙන් වළකින්නැයි සෞඛ්‍ය අමාත්‍යාංශය වෛද්‍ය නිලධාරින්ගේ සංගමයෙන් ඉල්ලීමක්‌ කර තිබේ.