පාකිස්තානය ගොඩ එයි: ඉන්දියාව ගෙදර යයි ශ්‍රී ලංකාව සමග අවසන් පූර්ව ගැටුම හෙට

 විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි අට වටයේ අවසන් තරගයේ දී දකුණු අප්‍රිකාව පරදා ලකුණු එකක ජයක් ලැබූවද, ඉදිරියට යෑමට අවශ්‍ය දළ ලකුණු වේගය රදවා ගැනීමට අපොහොසත්වූ ඉන්දියාව තරගාවලියෙන් ඉවතට විසි විය.
එබැවින් ශ්‍රී ලංකාව සමග හෙට (4) පැවැත්වෙන පළමු අවසන් පූර්ව තරගයට එක්වීමේ වාසනාව පාකිස්තානයට උදා විය. ඊයේ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ විදුලි ආලෝක ධාරා මැද පැවැති තරගයේදී දකුණු අප්‍රිකාව ලකුණු 121කට අඩුවෙන් දවා ගැනීම ඉන්දියාවට අත්‍යාවශ්‍යම වුවද එය ඉටුකර ගැනීමට නොහැකි වීමෙන් මෙවර තරගාවලිය අතරතුරදී “හුස්ම හිරවීමේ ඉරණමට“ මුහුණදීමට සිදුවිය.

දකුණු අප්‍රිකාවේ නවක ක්‍රීඩක ෆැෆ් ඩූප්ලෙසීෂ්ගේ අගනා ඉනිම ඉන්දීය පිළ අසීරුතාවට පත් කිරීමේ ප්‍රධානතම සාධකය බවට පත් කළේය. ඩුප්ලෙසීෂ් ඉනිමක ලැබූ වැඩිම ලකුණු ප්‍රමාණය හා ඔහුගේ පළමු අර්ධ ශතකය වාර්තා පොතට එක් කරමින් පන්දු 38කදී හයේ පහර 2ක් හා හතරේ පහර 6ක් සමග ලකුණු 65ක් ලැබීය.
ඉන්දියා - දකුණු අප්‍රිකා තරගයේ කාසියේ වාසිය දිනාගත් දකුණු අප්‍රිකාවේ ආරාධනාවෙන් ඉන්දියාව මුලින් පන්දුවට පහරදී කඩුලු 6කට ලකුණු 152ක් ලබාගත් අතර දකුණු අප්‍රිකාව ඕවර් 19.5කදී ලකුණු 151කට සීමා විය.
මාසයකටත් අඩු කාලයකදී විස්සයි 20 ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට පිවිසි ෆැෆ් ඩූප්ලෙසීස් ඊයේ සහභාගීවූ සිවුවැනි තරගයේදී පෙරැළිකාර ක්‍රීඩකයෙකු බව පෙන්වමින් ඉන්දීය බලාපොරෙත්තු සුන් කළේය. දකුණු අප්‍රිකා මුල් කඩුලු දෙකම ලකුණු 16කට බිද වැටී අසීරඅතාවට පත්ව තිබියදී ෆැෆ් ඩූප්ලෙසීස් හා නායක ඒබී ඩී විලියර්ස් එක්ව තෙවැනි කඩුල්ලට ලකුණු 30ක සම්බන්ධතාවක් ගොඩ නැගූහවිලියර්ස් පන්දු 13කදී ලකුණු 13ක් ලබා තිබියදී යුවරාජ්ගේ පන්දුවක් කෙලින්ම කඩුල්ලේ වැදීමෙන් දැවී ගියේය. අනතුරුව ඩුප්ලෙසීෂ් සමග එක්වූ ඩුමිනි හතරවැනි කඩුල්ලට ලකුණු 49ක සම්බන්ධතාවක් ගොඩනැගීය. තරගයේ වීරයා සම්මානය දිනා ගත් යුවරාජ් සිං ලකුණු 23 කඩුලු 2ක් බිඳ හෙලීය.
ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලබාගත් සුරේෂ් රයිනා පන්දු 34කදී හතරේ පහර 5ක් සමග රැස් කළ ලකුණු 45 හේතුවෙන් ඉන්දීය ලකුණු පුවරුව ඉහළ ගියේය. රයිනා ලකුනු 36ක් ලබා සිටියදී මිඩ් විකට් වෙත එල්ල කළ උඩ පන්දුවක් ෆර්හන් බෙහාර්ඩීන් අත හැරීම ඉන්දියාවට වාසනාව ගෙන දුන්නේය.
නායක දෝනීට අවශ්‍ය වූයේ කෙසේ හෝ වැඩි ලකුණු ප්‍රමාණයක් බැවින් හය වැනි කඩුල්ලට රයිනා සමග එක්වූ ඔහු පැමිනි විගස “පොල් අඩි “ පහරවල් කිහිපයකින් ලකුණු වේගය වැඩි කිරීමට උත්සහ ගත්තේය.වෙලාවේ හැටියට උපරිම යුතුකම කළ දෝනී පන්දු 13කදී හතරේ පහර 3ක් සමග නොදැවී ලකුණු 23ක් ලබා ගත්තේය.
දෝනී හා රයිනා පන්දු 24කදී ලකුණු 40ක සම්බන්ධතාවක් ගොඩ නැගූ අතර පස්වැනි කඩුල්ලට රයිනා හා රෝහිත් ෂර්මා ලකුණු 44ක සම්බන්ධතාවක් ගොඩ නැගූහ. ෂර්මා පන්දු 27කදී ලකුණු 25ක් ලබා ගත්තේය.ගම්බීර් ලකුණු 8කට හා කෝලී ලකුණු 2කට දැවී ගොස් ඉදිරිපෙළ දැවී නොයන්නට ඉන්දියාව තවත් ස්ථාවර වීමට හැකියාව ලැබෙන් ඇත.
මෝර්කල් හා පීටර්සන් කඩුලු 2ක බැගින් බිඳ හෙලීමට සමත් වූහ.
ඉන්දියාව කඩුලු 6කට ලකුණු 152 ( 20) ෂෙවාග් 17, ෂර්මා 25, යුවරාජ් 21, රයිනා 45, දෝනී නොදැවී 23 (මෝර්කල් 2/28, පීටර්සන් 25/2)
දකුණු අප්‍රිකාව ලකුණු 151 (19.5) ඩුප්ලෙසීෂ් 65, ඩි විලියර්ස් 13, ඩුමිනි 16 (සහීර් 22/3,බලාජී 37/3,යුවරාජ් 23/2 )

Gossip Lanka Hot News Previous News Archive