Pages

තර්ස්ටන් රෝයල් ගැටුම


කොළඹ රාජකීය සහ තර්ස්‌ටන් විද්‍යාලවල ශිෂ්‍යයන් දෙපිරිසක්‌ අතර ඊයේ (23) දහවල් තර්ස්‌ටන් පාරේදී සිදුවූ ගැටුමකින් ශිෂ්‍යයන් නව දෙනකු තුවාල ලබා ඇත.
ගැටුම මැඩ පැවැත්වීමට ගිය කොළඹ දකුණ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල මහතා ද සුළු තුවාල ලැබූ අතර පොලිස්‌ කොස්‌තාපල්වරයකු තුවාල ලබා රෝහල් ගත කර තිබේ.
මෙම ගැටුම්කාරී තත්ත්වය මෙහෙය වූ රාජකීය විදුහලේ ශිෂ්‍යයන් අටදෙනකු පොලිස්‌ භාරයට ගෙන තිබේ.
මෙහිදී තුවාල ලැබූ ශිෂ්‍යයෝ වැඩි දෙනකු කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් වන අතර තුවාල ලැබූවන්ගෙන් දෙදෙනකු ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන අතර සෙසු ශිෂ්‍යයන් බාහිර ප්‍රතිකාර ලබා පිටව ගොස්‌ ඇත.
පසුගිය දින කීපයක්‌ තිස්‌සේම රාජකීය සහ තර්ස්‌ටන් විද්‍යාලවල ශිෂ්‍යයන් අතර ගැටුම්කාරී තත්ත්වයන් උද්ගත වී තිබිණි.
ඊයේ (23) පෙරවරුවේ කොළඹ තර්ස්‌ටන් විද්‍යාලය ඉදිරිපිට
සිටි ශිෂ්‍යයකු රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන්ගේ ප්‍රහාරයකට ලක්‌ව තුවාල ලබා ඔහු රෝහල් ගත කරනු ලැබීය. පසුව දහවල් 2.00 ට පමණ රාජකීය විද්‍යාලයේ උසස්‌ පෙළ සහ සාමාන්‍ය පෙළ පංතිවල අධ්‍යාපනය ලබන ශිෂ්‍යයන් දහසකට අධික පිරිසක්‌ තර්ස්‌ටන් විද්‍යාලයේ ප්‍රධාන දොරටුව අසලට පැමිණ ඇත.
ඒ වනවිට විද්‍යාලයේ කටයුතු අවසන් කර ශිෂ්‍යයෝ පිට වී යෑමට සූදානමින් සිටියහ. පාසලෙන් පිටව යන ශිෂ්‍යයන්ට පහර දීමට රාජකීය විද්‍යාලයේ ශිෂ්‍යයන් පැමිණ සිටින බව දැනගත් තර්ස්‌ටන් ශිෂ්‍යයන් විදුහලේ ක්‍රීඩාංගණය දෙස සිට මාර්ගයේ සිටි රාජකීය ශිෂ්‍යයන්ට ගල්මුල් ප්‍රහාර එල්ල කර තිබේ.
මෙම සිද්ධියෙන් තර්ස්‌ටන් මාර්ගයේ ගමන් කළ වාහන කීපයක්‌ද ගල්මුල් ප්‍රහාරයට ලක්‌ වී ඇත. ගැටුම මැඬ පැවැත්වීමට සඳහා එහි පැමිණ පොලිස්‌ නිලධාරින්ද මෙම ගල්මුල් ප්‍රහාරයට ලක්‌ වී තිබේ.
පසුව තර්ස්‌ටන් ශිෂ්‍යයන් රාජකීය විද්‍යාලයේ නේවාසිකාගාරයකට ද ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇත.
සිද්ධිය සැලවූ වහාම ක්‍රියාත්මක වූ කොළඹ දකුණ පොලිස්‌ අධිකාරි ප්‍රේමලාල් රණගල කුරුඳුවත්ත කොල්ලුපිටිය පොලිස්‌ ස්‌ථානාධිපතිවරුන් වන කපිල ප්‍රේමදාස, මංගල දෙහිදෙණිය ඇතුළු නිලධාරීන් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ ගැටුම සමතයකට පත්කර ශිෂ්‍යයන් පලවා හැර තිබේ.
ප්‍රදේශයේ ආරක්‌ෂාව සඳහා විශේෂ පොලිස්‌ බල ඇණි කීපයකම යොදවා තිබිණි.
මේ අතර කොළඹ රාජකීය විද්‍යාලයේ සිසුන් හා කොළඹ තර්ස්‌ටන් විද්‍යාලයේ සිසුන් අතර ඊයේ දහවල් තර්ස්‌ටන් පාරේදී ඇති වූ ගැටුම ඡායාරූප ගත කරමින් සිටි ‘දිවයින’ ඡායාරූප ශිල්පී සමන් අබේසිරිවර්ධන ගේ කැමරාව උදුරාගත් සිසුවකු කැමරාවේ තිබූ චීපය ගලවාගෙන ඇත.