Pages

යූරෝ ලක්ෂ දෙකහමාරක් පමණ අරන් ඉතාලියෙන් පැන්න මිනිහා අල්ලයි


ඉතාලියේ බ්‍රේසියා නුවර ධන කුවේරයකු වන ගණකාධිවරයකුට අයත් රන් ආභරණ තොගයක් හා යූරෝ ලක්ෂ දෙකහමාරක් පමණ (රුපියල් හාරකෝටි තිස් ලක්ෂයක් පමණ) සොරකම් කරගෙන ශ්‍රී ලංකාවට පැමිණි බව කියන මාරවිල පුද්ගලයෙක් මාරවිල පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.



මේ සොරකම නිසා තම ව්‍යාපාර කඩාවැටී ඇතැයි අන්තෝනියෝ රෝස් ගණකාධිවරයා කියා ඇත.

පොල්කඩන්නකුගේ නම ඉදිරිපත් කර තම ඡායාරූපය අලවා ගමන් බලපත්‍රය හා වීසා ලබාගෙන ඉතාලි ගිය මෙම පුද්ගලයා වසර පහළොවකට වැඩි කාලයක් එහි ගත කර ඇතැයි ද, ඉතාලියට ගිය පසු වෙන නමකින් ජීවත් වී ඇතැයි ද, සොරකමෙන් පසු ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ තවත් නමකින් යැයිද ඉතාලි ආරංචි කියයි.

සොරකම් කළ සල්ලි බස්නාහිර පළාතේ ප්‍රාදේශීය දේශපාලනඥයකු නමට එවා ඇතැයි ද එම ආරංචි කියයි.

සැප්තැම්බර් 25 වැනිදා එසැණ මේ සිද්ධිය වාර්තා කළේය.

පසුගිය සැප්තැම්බර් 10වැනිදා මේ සොරකම සිදු කර ඇත.

ඉතාලි ගණකාධිකාරීවරයාගේ විශ්වාසදායක සේවකයකු වූ ඔහු සොරකම් කළ බව කියන රත්තරන් ප්‍රමාණයේ වටිනාකම කෙතෙක්දැයි පැමිණිල්ල කරන විටද තොරතුරු ලැබී නොතිබිණි.

ජයලත් ෆෙඩ්රික් ඝෝඨාභය වික්‍රමසිංහ ජයලත් නමින් ඉතාලි ගිය මොහු එම ගණකාධිකාරී ලඟ සේවය කර ඇත. එහෙත් ඔහුගේ සැබෑ නම හරේන්ද්‍ර බන්දුල ලොකුගේ බවට ඉතාලි පොලීසිය සතුව තොරතුරු ඇත. සොරකමින් පසුව ඔහු ඒ නම් දෙකම හැර වෙනත් නමකට හදිසි ගමන් බලපත්‍රයක් ලබාගෙන ශ්‍රී ලංකාවට පැමිණ ඇති බවත් එම ඉතාලි ආරංචි කියයි.

මාරාවිල පොලීසිය අද (21) දහවල් එකට පමණ මොහු අත්අඩංගඩුවට ගෙන ඇත්තේ ඔහු නාත්තන්ඩිය පුබුදු මාවතේ නිවසක සිටින බවට ලැබුණු තොරතුරක් මතය.

එහෙත් ඔහු පොලීසියට පවසා ඇත්තේ තමාගේ නම ජයලත් ඝෝඨාභය වික්‍රමසිංහ ජයලත් නොවන බවයි. ඔහු වැඩිදුර පරීක්ෂණ සඳහා රහස් පොලීසියට බාර දීමට නියමිතය.

මාරවිල පොලීසියේ වැඩබලන මූලස්ථාන පොලිස් පරීක්ෂක එච් එම් රත්නතිලක මහතා පරීක්ෂණ මෙහෙයවයි.