මරණය කොහොම වුණත්! හිංසාව...
දඹුල්ල, වල්ගම්වැව අතුරු මාර්ගයේ අද අළුයම (06) තුනට පමණ ධාවනය වූ අභිරහස් ලොරියක් නැවතූ එගම තරුණයින් එම ලොරියේ පටවා සිටි එළ සහ මී ගවයන් 41 ක් සමග සැකකරුවන්ද අල්ලා පොලිසියට භාර දී තිබේ. මෙසේ අල්ලා ගන්නා ලද ලොරියේ සිටි ගවයින්ගෙන් පහළොස් දෙනෙක් රථය තුළම අවසන් හුස්ම හෙළා තිබුණි. ඒ දැඩි ලෙස සිර කොට මෙම සතුන් ප්රවාහනය කිරීමේ ප්රථිපලයක් වශයෙනි. සිද්ධිය වාර්තා වන්නේ මේ ආකාරයෙනි. කාලයක් තිස්සේ දඹුල්ල, වල්ගම්වැව බොරළු අතුරු මාර්ගයේ මහ රාත්රියේ ලොරියක් සහ වෑන් රථයක් ධාවනය ආකාරය එගම තරුණයින්ගේ අවාධානයට ලක් වී තිබිණ.
මෙම අතුරු මාර්ගයේ එතරම් වාහන ධාවනය නොවීමත්,රාත්රියේ දී පමණක් මෙම වාහන දෙක ධාවනය වීමත් සැක කටයුතු බැවින් ඒ පිළිඹඳ තරුණයින් විසින් පළාතේ පොලිසියට දැනුම් දී ඇත. එහෙත් පොලිසිය ඒ පිළිඹඳ පරීක්ෂණයක් සිදු කරන්නට සැලකිලිමත් වී නැති බව දැන ගන්නට ඇත. මේ නිසා මෙම ලොරිය අල්ලා ගන්නට තීරණය කළ තරුණ කණ්ඩායම අද (06) අළුයම එම මාර්ගයට ගල් සහ කොටන් දමා රැක සිට ඇත. පාන්දර 3ට පමණ පළමුව වෑන් රථයක් සහ ඒ පිටුපසින් මෙම ලොරිය පැමිණ තිබේ. වෑන් රිය පැමිණ ඇත්තේ ලොරියේ ආරක්ෂාවටය. ගල් සහ කොටන් පාර මැද තිබීම නිසා වාහන දෙකම නවතා ඒවායේ සිටි පුද්ගලයන් ඉන් බැස කොටන් ඉවත් කරන්නට සූදානම් වෙත්ම සැඟ වී සිටි තරුණ පිරිස ඉදිරියට පැන පිරිස වටලා ඇත. එම අවස්ථාවේ දී එක් සැකකරුවෙක් කැලය බිඳ ගෙන පළා ගොස් ඇති අතර වෑන් රියේ රියදුරාද වෑන් රථය කොටන් උඩින් ධාවනය කොට පළා ගොස් තිබේ. තවත් තිදෙනෙක් තරුණයින් විසින් අල්ලා ගෙන තිබේ. අනතුරුව ලොරිය පරීක්ෂා කිරීමේ දී එහි ගවයින් පටවා සිටිනු දැක වහාම මෙම සිද්ධිය 119 දුරකතනට අංකයට කතා කොට දැනුම් දී ඇත. මොහොතකට පසු දඹුල්ල පොලිසිය එම ස්ථානයට පැමිණ සැකකරුවන් සමග ගවයන් පැට වූ ලොරිය අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත රැගෙන ගොස් ඇත. පොලිසිය මිදුලේ දී මෙම ලොරිය පරීක්ෂා කොට ඇත. එහි දී එම ලොරියේ එළ ගවයින් 24ක් සහ මී ගවයින් 17ක් පටවා ඇති බව සොයා ගැනුණි. එතරම් ප්රමාණයක් පටවන්නට නොහැකි එම ලොරියේ සිර වී, මී ගවයින් 8ක් සහ එළ ගවයින් 07 දෙනෙක් මරුමුවට පත් වී සිටියහ. මෙම ගවයින් ප්රවාහනය සඳහා බලපත්රයක් සැකකරුවන් සතුව තිබී නැත. මෙම ජාවාරම්කරුවන් හොරොව්පතාන ප්රදේශයෙන් හොර හරක් පටවා පොලිසි සහ හමුදා මාර්ග ආරක්ෂක කණ්ඩායම් මග හරිමින් කෑලෑ පාරවල් ඔස්සේ මාතලේ නගරය වෙත කාලයක් තිස්සේ පැමිණ ඇති බව ප්රශ්ණ කිරීම්වලදි අනාවරණය වී ඇත. ලොරියේ රියදුරා ඇතුළු සැකකරුවන් තිදෙනා අද (06) දඹුල්ල මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. දඹුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.