ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුට140,721
ආධුනික කථිකාචාර්යවරයකුට 55,775
ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකුගේ වැටුප ඊයේ (1) සිට රුපියල් එක්ලක්ෂ හතළිස් දහස් හත්සිය විසි එකක් දක්වාත් ආධුනික කථිකාචාර්යවරයකුගේ වැටුප රුපියල් පනස් පන්දහස් හත්සිය හැත්තෑ පහක් දක්වාත් වැඩි කර තිබේ.
එසේම ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයක් සඳහා වන මුලික වැටුප සියයට 16.18 කින්ද ආධුනික කථිකාචාර්යවරයකුගේ මුලික වැටුප සියයට 3.25 කින්ද වැඩි කර තිබේ.
කිසිම රජයක් සියලුම ශ්‍රේණි සඳහා එකම ප්‍රමාණයකට වැටුප් වැඩිකිරීමක් සිදු කර නොමැති බව කියන උසස් අධ්‍යාපන අමාත්‍යංශය විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ මේ වැටුප් තල පිළිබද අවධානය යොමු කිරීමේදී දැනට ශ්‍රී ලංකාවේ අගවිනිසුරුවරයා ලබා ගන්නේ රුපියල් 70,000 ක වැටුපක් බවද කියයි. අමාත්‍යංශ ලේකම්වරයකුගේ වැටුප රුපියල් 44,000 ක් වන අතර පරිපාලන සේවයේ මුළු වැටුප රුපියල් 29,810 ක් ද පරියේෂණ ආයතනවල මුළු වැටුප රුපියල් 42,635 ක් ද උපාධිධාරී සේවයේ මුළු වැටුප රුපියල් 15,635 ක් ද වේ.
මේ අනුව විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සමිති සම්මේලනය යෝජනා කළ පරිදි විශ්වවිද්‍යාලවල ආධුනික කථිකාචාර්යවරුන් සඳහා ආකර්ශනීය හා රඳවා තබා ගැනීමේ වැටුප් තලයක් මේ වන විටත් ලබා දෙන බව අමාත්‍යංශය පෙන්වා දෙයි. විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට ශ්‍රී ලංකාවේ විශ්වවිද්‍යාලයක වසර 7ක් සේවය කළ පසු ලෝකයේ ඕනෑම රටක විශ්වවිද්‍යාලයක පර්යේෂණ කටයුත්තකට යොමු වීමට වසරක සියලු වැටුප් සහිත නිවාඩුවක් හිමි වේ. එසේම ආචාර්යවරයාගේ හෝ ආචාර්යවරියගේ බිරියට හෝ සැමියාටද නොමිලේ ගුවන් ටිකට් පතක් ලබා දේ.
ආධුනික කථිකාචාර්යවරයකු ලෙස සේවය කරන අයකුට තම ආචාර්ය උපාධිය නිම කර ගැනීම සඳහා සියලු වැටුප් සහිතව අවුරුදු 3 මාස 9 ක නිවාඩුවක් සහ යාමට ඒමට ගුවන්ටිකට් පත් ලබාදේ.
ලොව කිසිම විශ්වවිද්‍යාලයක ආචාර්යවරයකු පැමිණීමේ ලේඛන අත්සන් නොකරයි.
විශ්වවිද්‍යාලවල විභාග පැවැත්වීමේ කටයුතුවලදී ප්‍රශ්න පත්‍ර සැකසීම, පිළිතුරු පත්‍ර ලකුණු කිරීම ආදිය සඳහා ද ආරාධිත දේශන සඳහාද ගෙවීම් සිදු කරනු ලබයි. මේ ගෙවීම් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභා චක්‍ර ලේඛ අංක 981 මගින් බලපැවැත්වෙන අතර මේ සඳහා වන ගෙවීම් මේ වන විට පස්ගුණයකින් ඉහළ දමා තිබේ.
එමෙන්ම විශ්වවිද්‍යාල ආචාර්යවරයකුට නිවාස ණය ලබා දීමේ ක්‍රමයක් ද මහජන බැංකුව හා ලංකා බැංකුව මගින් ක්‍රියාත්මක වන අතර රුපියල් මිලියනය දක්වා වන ණය සඳහා සියයට 7 ක පොළියක් ද රුපියල් මිලියන 2 දක්වා වන ණය සඳහා සියයට 9 ක් පොළියක් ද වන අතර මෙයින් සියයට 5.5 ක් රජය විසින් දරනු ලැබේ. මේ වන විට රජය පසුගිය වසරක කාලය තුළ පස්වතාවක් ආචාර්යවරුන්ගේ වැටුප් වැඩි කර තිබේ. මෙවැනි වරප්‍රසාද රැසකට හිමිකම් කියන ආචාර්යවරු වැඩිවැටුප් ඉල්ලමින් වැඩවර්ජන කිරීම සාධාරණ නැතැයි ද උසස් අධ්‍යාපන අමාත්‍යංශය පවසයි.