සුරතල් දරුවා කඹයකින් බැඳ වද හිංසා කරන මිත්තණියක්

වයස අවුරුදු හතරක් වූ සුරතල් පිරිමි දරුවකු කඹයකින් බැඳ; දරුවාට වද හිංසා කරන මිත්තණියක පිළිබඳ තොරතුරු බගවන්තලාව ලොයින්ඩන් තේ වත්තේ හෙල්ටොප් කොටසින් වාර්තා වේ.
දරුවාගේ මිත්තනිය විසින් ඇගේ වැඩකටයුතු කැර ගැනීමට පහසුවීම පිණිස මෙම දරුවා දිනපතාම ඉන ප්‍රදේශයෙන් ගැට ගසා උළුවස්සේ බැඳ තබා ඇති බව පරීක්‍ෂණ මගින් හෙළිවී තිබේ.මේ වත්තේ නිවසක උළුවස්සක බැඳ දමා තිබූ දරුවා පිළිබඳ අනුවේදනීය සිදුවීම් පෙළ බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. එම්. සෙනෙවිරත්න මහතා ඇතුළු කණ්ඩායමකට දරුවා ගැට ගසා තිබියදී හමු වී ඇත.

දරුවාගේ මව තේ දළු නෙලීමට යන අවස්ථාවේ දරුවා ඇගේ මවට බාර දී යන බවත් මව නිචසින් නික්ම ගිය පසු මිත්තනිය දරුවා බැඳ දමන බවත් ප්‍රදේශවාසීහු පවසති.
මවට සහ මිත්තනියට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කේ. එම්. සෙනෙවිරත්න, මහජන සෞඛ්‍ය පරීක්‍ෂක පී. කේ. එල්. වසන්ත යන මහත්වරු තරයේ අවවාද කර මින් ඉදිරියට මෙවැන්නක් සිදුවුව හොත් නීති මගින් කටයුතු කරන බව දැනුම් දී ඇත.
දරුවා දිවා කල රැකගැනීමට අපහසු නම් දරුවා දිවා සුරැකුම් මධ්‍යස්ථානයකට බාර දෙන ලෙසද එම නිලධාරීන් දැනුම් දී තිබේ.
දරුවකු මෙලෙස සිරගත කොට තබාගැනීම සම්පූර්ණයෙන්ම ළමා අයිතිවාසිකම් කඩ කිරීමක් බවත් කෲර ලෙස වධ හිංසාවට ලක් කිරීම හා නොසලකා හැරීම සම්බන්ධයෙන් වන වරද මින් සිදු වී ඇති බවත් ජාතික ළමා ආරක්‍ෂක අධිකාරියේ සභාපති අනෝමා දසනායක මහත්මිය පවසයි.
මේ වරද දඬුවම් ලැබිය හැකි වරදක් වන අතර හිංසනයට පත් සිව් හැවිරිදි දරුවාගේ භාරකාරත්වය විසින්ම මෙලෙස හිංසාවට ලක් කිරීම නීති විරෝධී වේ. මෙලෙස අමානුෂික ආකාරයෙන් දරුවන් මානසිකව හෝ කායිකව අපයෝජනයට ලක් කරන්නන් හට නීතිය උපරිම ලෙස ක්‍රියාත්මක කරන බව සභාපතිතුමිය කියයි.
පසුගිය කාල සීමාව ඇතුළත සිදුවූ සමාජ පරිහානිය නිසා මෙවැනි සිදුවීම් වාර්තා වන ප්‍රමාණය වැඩි වී ඇති බවත් ළමා ආරක්‍ෂණ ප්‍රතිපත්තිය ඛ්රහා ප්‍රජාව දැනුවත් කිරීමේ කටයුතු ක්‍රියාත්මක කර ඇති බවත් ඇය පවසයි.

Gossip Lanka Hot News Previous News Archive