අටමස් ගැබිනි මවට පහරදීමෙන් කුසේ හුන් දැරිය මරුට

ඉඩම් ආරවුලක් මත ඇති වූ වචන හුවමාරුවකින් පසු අසල්වැසි අයෙකු විසින් අට මස් ගැබිනි මවකට එල්ල කළ බව කියන පහරකින් ඇගේ කුස තුළ සිටි බිළිඳිය මිය යාමේ සිද්ධියක් පිළිබඳව දකුණු කළුතර ‍පොලීසිය පරීක්ෂණ ආරම්භ කොට ඇත.
මෙසේ මිය ගොස් ඇත්තේ කළුතර කලමුල්‍ලේ පදිංචි දැලකඳුර ආරච්චිගේ දිනුෂා ශාමිකා සිල්වා ගුණරත්න (අවු.33) යන අයගේ කුස තුළ සිටි දැරියයි.

ඉකුත් 08 වනදා සිදු වූ බව කියන මෙම පහරදීමෙන් පසු අසාධ්‍ය තත්ත්වයකින් කළුතර මහ රෝහලට ඇතුළත් කර තිබූ ගැබිනි මවගේ කුස තුළ සිටි දැරිය පෙරේදා (11) ශල්‍යකර්මයකින් පිටතට ගන්නා අවස්ථාව වන විට මියගොස් සිටි බව ‍පොලීසිය අධිකරණයට වාර්තා කොට තිබුණි.
මෙම දරුවා බිහිවීමට නියමිතව සිටියේ ඔක්තෝබර් මස 30 වන දිනය.
මෙම පහරදීම පිළිබඳව පයාගල ‍පොලීසියට කළ පැමිණිල්ලෙන් පසු සැකකරු වූ අඹවලගේ නිශාන්ත සිල්වා යන අය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව රුපියල් 50 දහසක මුදල් ඇප හා රුපියල් 25 දාහක ශරීර ඇප මත මුදා හැර තිබුණි.
දැරිය මිය යාමෙන් පසුව ගැබිනි මවගේ ස්වාමි පුරුෂයා විසින් කළුතර ‍පොලිස් අධිකාරි කාර්යාලයට කළ පැමිණිල්ල අනුව මෙහි පරීක්ෂණ කටයුතු දකුණු කළුතර ‍පොලීසියට පවරා තිබේ.
කළුතර සහකාර ‍පොලිස් අධිකාරි සංජීව බණ්ඩාර මහතාගේ උපදෙස් මත දකුණ කළුතර ‍පොලීසයේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ලලිත් පද්මකුමාර,නඩු මෙහෙයුම් අංශයේ ස්ථානාධිපති චන්දන තෙන්නකෝන් කොස්තාපල් (55301) ගුනේන්ද්‍ර යන මහත්වරු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

Gossip Lanka Hot News Previous News Archive