Pages

කනේගෙඩියාගේ රස්සාව හොරකමලු/ professional thief job

ජාතික කෞතුකාගාරය බිඳ එහි වූ පෞරාණික භාණ්ඩ සොරාගත් ප්‍රධාන සැකකරු ලංසාගේ ප්‍රියන්ත මෙන්ඩිස් නොහොත් කනේ ගෙඩියා වෘත්තීමය සොරෙක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මතෛක් කළ විමර්ශන වලින් අනාවරණය වී තිබේ.
දිවයිනේ බොහෝ ප්‍රදේශවල වැඩ බිම් සහ කර්මාන්ත ශාලාවල කම්කරුවෙක් ලෙස සේවයකර ඇති ඔහු, ඒ සෑම තැනකම මුදල් සහ දේපළ සොරාගෙන තැනින් තැනට පළායමින් සැඟවුණු ජීවිතයක් ගත කර ඇති බවද හෙළි වී ඇත.

එසේ සොරකම් සිය ගණනක් ඔහු විසින් කර ඇතැත්, කෞතුකාගාර සොරකමට ‍පොලිස් අත්අඩංගුවට පත්වන තුරුම ‍පොලිස් අත්අඩංගුවට පත්ව නැතැයිද පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
කෞතුකාගාරයේ මොහු සොරාගන්නා ලද කෞතුක භාණ්ඩවලින් සැලකිය යුතු ප්‍රමාණයක් කොළඹ අපරාධ කොට්ඨාසය විසින් සොයාගෙන ඇති බැවින් තව සොයාගන්නට ඇත්තේ ඉතා සුළු ප්‍රමාණයක් පමණක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් සඳහන් කළේය. සොයා නොගත් එම කෞතුක භාණ්ඩ ඔහු විසින් අලෙවිකර ඇති පුද්ගලයන් කවුරුන්දැයි හෙළිවී ඇති බැවින්. විශේෂ ‍පොලිස් කණ්ඩායමක් එම කෞතුක භාණ්ඩ සොයා විමර්ශන ආරම්භ කර තිබෙන බවද එම නිලධාරියා පැවැසුවේය.
බොහෝ දුරට එම කෞතුක භාණ්ඩ අද (30) දිනයේ සොයාගැනීමට හැකිවෙතැයි අපේක්ෂා කරන බවද ඔහු වැඩිදුරටත් කීවේය.
අත්අඩංගුවට ගැනෙන සැකකරුගේ ඇඟිලි සලකුණු අද (30) දිනයේ ඇඟිලි සටහන් කාර්යංශයට ඉදිරිපත් කර කෞතුකාගාර හොරකම වූ දින හමු වූ ඇඟිලි සලකුණු සමග සැසදීමටත්, ඩී.එන්.ඒ. පරීක්ෂාවකට සැකකරු යොමු කිරීමටත් නියමිතය.