T-20 නර්තන ශිල්පිනියන් ගැන ජාත්‍යන්තර අප්‍රසාදය


සූරියවැව මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනය, මහනුවර පල්ලෙකැලේ සහ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ පැවැත්වෙන විස්සයි විස්ස ජගත් කුසලානය නැරඹීමට රොක්වූ ක්‍රීඩා ලෝලීන්ට මේ සමස්ත තරගාවලිය ක්‍රීඩා උළෙලකටත් වඩා හිතේ ගතේ විඩාව නිවන දැවැන්ත සැණකෙළියක්.


සෑම කඩුල්ලක් දැවී ගිය මොහොතකමත්, පන්දුව සීමාව ඉක්මවමින් එල්ල කරන සෑම පිති පහරකින් පසුවත් නර්තනයෙන් ක්‍රීඩා ලෝලීන් කුල්මත් කරවන 'චියර් ලීඩර්ස්' (Cheerleaders ) නමින් හැඳින්වෙන ශිල්පිනියන්ගේ රංගනයද අයිපීඑල්, එස්එල්පීඑල් ඇතුළු විස්සයි විස්ස තරඟවල දැන් අනිවාර්ය අංගයක් බවට පත්වී තිබෙයි.

එහෙත් මෙවර ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජගත් කුසලාන තරගාවලියේ රැඟුම් දක්වන ශිල්පිනියන්ගේ නර්තනය ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම ජාත්‍යන්තර ක්‍රීඩා විචාරකයන්ගේ ද දැඩි විවේචනයට ලක්වී තිබේ.

විශේෂයෙන්ම ඉන්දීය ප්‍රීමියර් ලීගය ඇතුළු අනෙක් විදේශීය විස්සයි විස්ස තරඟවලදී දේශීය මෙන්ම විදේශීය තරුණියන් ඒ සඳහා යොදා ගන්නා බව කොළඹ සිටින බීබීසී මාධ්‍යවේදී අසාම් අමීන් පෙන්වා දෙයි. ඔහු මේ සියලු තරඟ නිදිවරමින් නරඹන උද්යෝගිමත් ක්‍රිකට් ලෝලියෙක්.

මීට පෙර ශ්‍රී ලංකා ප්‍රීමියර් ලීගය වැනි තරඟ පැවැති අවස්ථාවලදී ශ්‍රී ලංකාව දේශීය සංගීතය හා නර්තන ක්‍රම යොදාගත් බවත් ඒ අවස්ථාවල ක්‍රීඩා ලෝලීන් පිනවීමට මෙන්ම ශ්‍රී ලංකාවේ සංස්කෘතිය පිළිබඳව සමස්ත ලෝකයටම පණිවුඩයක් ලබාදීමටත් ශ්‍රී ලංකාව සමත්වූ බවත් අසාම් අමීන්ගේ විග්‍රහයයි.

පුහුණුවට 'සල්ලි මදි'


විස්සයි විස්ස ජගත් කුසලානයේ ක්‍රීඩා ලෝලීන් පිනවන නර්තන ශිල්පිනියන් පුහුණු කිරීම සඳහා ප්‍රමාණවත් කාලයක් නොලැබුන බවත්, අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලයෙන් ඔවුන්ට ගෙවන දීමනාව ප්‍රමාණවත් නොවන නිසා වෘත්තීයමය ශිල්පීන් එයට සහභාගි කරගත නොහැකි වූ බවත් ඔවුන්ගේ පුහුණුකරු සුදේව් අබේසේකර 'හින්දුස්තාන් ටයිම්ස්' පත්‍රයට ප්‍රකාශ කොට තිබුනේ මේ විවේචන හමුවේයි.

ජගත් කුසලානයේ නර්තනය ගැන විවේචන එල්ල වී තිබෙන්නේ ඒ නිසා බවයි ඔහු පවසා තිබුනේ.

කෙසේ නමුත් තමන් එවැන්නක් මාධ්‍යවලට නොකී බව සංදේශය කළ විමසීමකදී කියා සිටි සුදේව් අබේසේකර හමුවී සාකච්ඡාවක් පටිගත කිරීමට මා ගත් උත්සාහය පල දැරුවේ නැහැ.

පැනනැගී තිබෙන ගැටලුව පිළිබඳව ඩේලි මිරර් පත්‍රයට අදහස් දැක්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ලේකම් නිශාන්ත රණතුංග පවසා තිබුනේ මෙම නර්තනය සඳහා තරුණියන් තෝරා ගැනීම සහ ඔවුන් පුහුණුකිරීම ඇතුළු කරුණු සම්බන්ධයෙන් අයිසීසී ජාත්‍යන්තර පාලක මණ්ඩලය තමන්ගෙන් කිසිදු කරුණු විමසීමක් නොකිරීම කනගාටුවට කරුණක් බවයි.

එසේ තම උපදෙස් පැතුවේ නම් මෙවැනි තත්ත්වයක් උද්ගත නොවීමට ඉඩ තිබුණු බවද ඔහු පවසා තිබුණි.

Gossip Lanka Hot News Previous News Archive