පාන්දර ඇතුළට ආපු පිරිසක් සෙල්වල හිටපු අය 11 ක් විතර එළියට අරන් වෙඩි තියලා මැරුවා ,ONLINE ඇමතූ රැඳවියෙක් පැවසුවේය



 වැලිකඩ බන්ධනාගාරයේ සිදු වූ ප්‍රහාරවලින් රැඳවියන් 27 දෙනෙක් මරුමුවට පත්වූහ. මෙම ප්‍රහාරය පිළිඹඳ පොලිසිසහ වෙනත් ආරක්ෂක අංශ විසින් සිදුකළ ප්‍රකාශවලට ජනමාධ්‍ය තුළ විශාල ඉඩකඩක් හිමිවිය. මෙම ප්‍රහාරවලින් මියගිය සියලුම දෙනා වැලිකඩ බන්ධනාගාරයේ සිටි රැඳවියන් වෙති. මියගිය ඔවුන් සමග එකට සිටි රැඳවියන්ටද මෙම සිද්ධිය ගැන කියන්නට යමක් තිබෙන බව දුරකතන‍ය ඔස්සේ ‘ලක්බිම’ ONLINE ඇමතූ රැඳවියෙක් පැවසුවේය. එම කතාවට  ඉඩකඩ මෙසේ වෙන් කරන්නේ ඔවුන් කියන දෙයටද ජනමාධ්‍ය තුළ ඉඩක් ලබා දිය යුතු බැවින් ය.


හිරගෙවල් ඇතුළේ උගත් නූගත් අය ඉන්නවා. මානසික ‍ලෙඩ්ඩු ඉන්නවා. හොරු, කුඩ්ඩො, මිනීමරුවෝ වුණේ හිතලා මතලා වැරැදි කරලා නෙවෙයි. හැදෙන පරිසරයේ වැරැද්ද, අධ්‍යාපනය සමව නොලැබීම, නිසි වියට එළඹීමත් සමඟ රැකියා අවස්ථා නොලැබීම, හේතු ගොඩාක් කියන්න පුළුවන්. පොදුවේ ‘වැරදිකරුවෝ’ වෙන්නේ ‘සමාජයේ’ වැරැද්දෙන්. නීතියේ වැරැදි නිසා වැරැදිකරුවො වුණ අහිංසකයොත් මේවා ඇතුළේ ඉන්නවා. තමන් නිවැරැදිකරු කියලා ඔප්පුකර ගැනීමට හැකියාවක් නැති වුණ අය , මහාධිකරණයෙන් මරණ දඩුවම හිමි වෙලා අභියාචනාධිකරණයට ඇපිල් කරපු අය ගොඩක් ඉන්නවා. අධිකරණ පද්ධතිය විධිමත් කරලා ඉක්මනින් නඩු අහන්න ඕනේ. නීතියේ ප්‍රමාදය නිසා සැකකරුවෝ වසර ගණන් හිර ගේ ඇතුලේ බලන් ඉන්නවා. හොඳ වයස ගෙවිලා ඉවරයි. සමාජයට ගියත් වැරැදිකාරයෙක් විදියටයි සමාජය සලකන්නේ. දරුවො, පවුල, අම්මා, තාත්තා සිහි කර, කර කඳුළු බොන අය ඉන්නවා. සෑහෙන පීඩනයකින් ඒව හිර කරන් ජීවත් වෙන මිනිස්සු. ඇතුළට ගිහින් හැබෑම අපරාධකාරයොත් එක්ක එකතු වුණාම අපරාධ සාමාන්‍ය වෙනවා. අලුත් ජීවිතේට පුරුදු වෙනවා. නඩු අහල ඉවර කරනකම් අවුරුදු 10ක් 15 ක් වුණත් මේකට වෙලා ඉන්න ඕනේ. හිර ගෙවල් ඇතුළේ ටෙලිෆෝන් තියෙනවා. දරුපවුල් එක්ක කතා කරලා ,

පුංචි උන්ගෙ සුරතල් කථාවලට කන් දෙන්න තියන එකම ක්‍රමය ඒකයි. නිවැරැදිකාරයෝ, අපරාධකාරයෝ කරලා බන්ධනාගාරවලට ගෙනත් දාන්නේ පොලිසියයි. ඒ නිසා කොහොමත් හිරකා‍රයො පොලිසිය එක්ක තරහයි. හිරකරුවෝ මනුෂ්‍යයෝ කියලා හිතන්නේ නැතිවයි සමහර නිලධාරින් හැසිරුණේ. ජේලර් මහත්තුරු හිරකාරයොත් එක්ක සුහදව කටයුතු කරනවා. මානුෂිකව හිතනවා. නැත්තම් මේක ඇතුළේ ඉන්න හිරකා‍රයෝ 5000 ක් විතර කට්ටියට මේ වගේ එකතු වෙලා ජේලර් මහත්තයලට ගහල ඕන දෙයක් කරන්න පුළුවන්. ජේලර් මහත්තුරු ළඟ තියෙන මනුස්සකම පොලිසියේ සමහරු ළඟ නැහැ. මේ වැඩේට ආමි එකෙන් ආවා නම් මේ තරම් දුර යන්නෙ නැහැ. ආමි එකට යුද්දෙ ඉවර කරපු නිසා ලොකු ගෞරවයක් හිතේ තියෙනවා‍. හැමෝගෙන්ම ඉල්ලන්නෙ හිරකරුවන්ටත් මනුෂ්‍යයින්ට වගේ සලකන්න‍. නිරපරාදෙ හිර කරලා ඉන්න මිනිස්සුන්ගෙ නඩු ඉක්මනට අහන ක්‍රමයක් හදන්න. මේ තරම් දුර යන්නෙ නැතිව මේ වැඩේ නවත්ත ගත්ත නම් ජීවි‍ත කීයක් ඉතුරු වෙනවාද? මොකෙන් ආවාද දන්නෙ නැහැ. පාන්දර ඇතුළට ආපු පිරිසක් සෙල්වල හිටපු අය 11 ක් විතර එළියට අරන් වෙඩි තියලා මැරුවා. ඒ පිරිස අතරේ ඒකට විරුද්ධව කතා කරපු, මරණ දඬුවම නියම වෙලා හිටපුපුද්ගලයනුත් හිටියා. මේ මිනිස්සු හරිම අමානුෂිකයි. මරලා දාපු මිනිස්සුන්ගෙ මරණ පරික්ෂණ කරන්න ආවේ පැය ගාණක් ගියාට පස්සේ. නිවැරැද්දෙ වැරැදිකාරයෝ වෙලා මේක ඇතුළට වෙලා ඉන්නවා මදිවට අපරාධකාරයෝ වුණු අය හරි, නොවුණු අය හරි, එකට හිටපු අය මරලා දානවා ඇස්වලට දැකලා ඒ මිනී එක්ක පැය ගාණක් ඉන්නත් සිද්ධ වුණා. ඒවා දිහා බල, බලා හූල්ල, හූල්ල හිටියා. කලින් දවසේ හිනා වෙලා දුක බෙදාගත්ත මිනිස්සු හතර අතේ වැටිල හිටියා.

මරණ පරික්ෂණය කරන අයට එන්න ඒ තරම් වෙලා ගියා. මේක දකින කොට අපරාධකාරයො නොවන අයත් අපරාධ මානසිකත්වයකට එනවා. නිරපරාදේ අපරාධකාරයෙක් වුණු දවසට එළියෙ ඉන්න අයට අපිව තේරෙයි. නඩු අහන්න තියන ප්‍රමාදේ නිසා මේවා ඇතුළේ නිරපරාදෙ මැරුණු මිනිස්සුත් ඇති. වන්නි මානුෂික මෙහෙයුම නිමා වීමෙන් පසු මෙපමණ පිරිසක් මිය ගිය ප්‍රථම වතාව මෙය වූවා සේම අවසන් අවස්ථාවද මෙය විය යුතුව ඇත.

ඡායාරූප - මලිත් ගමගේ




Gossip Lanka Hot News Previous News Archive