16 හැවිරිදි මිතුරාගේ පිහි පහරින් 15 හැවිරිදි මිතුරා මරු දකී ! Teenager stabbed to death by friend

ඌරුබොක්‌ක, ගින්නලිය, මිරිස්‌වත්ත හන්දිය අසලදී මිතුරන් දෙදෙනකු අතර ඇති වූ බහින්බස්‌වීමක්‌ දුරදිග යැමෙන් එක්‌ මිතුරකු අනෙක්‌ මිතුරාට පිහියකින් ඇන ඝාතනය කර ඇතැයි ඌරුබොක්‌ක පොලිසිය පවසයි.
පෙරේදා (12 වැනිදා) සිදු වී ඇති මෙම සිද්ධියේදී ඝාතනයට ලක්‌වී ඇත්තේ ඌරුබොක්‌ක, ගින්නලිය, උස්‌වත්ත පදිංචිව සිටි පී. ඉසුරු සම්පත් නමැති 15 හැවිරිදි දරුවෙකි.


මෙම ඝාතනයට අදාළව 16 හැවිරිදි බාල වයස්‌කාර දරුවකු පොලිස්‌ අත්අඩංගුවට ගෙන තිබේ.

පසුගිය දිනෙක ගින්නලිය විහාරස්‌ථානයේ කඨින පිංකම පැවැති අවස්‌ථාවේ මෙම බාලවයස්‌කාර දරුවන් දෙදෙනා අතර ඇති වූ බහින්බස්‌වීමක්‌ මෙම ඝාතනයට හේතු වී ඇතැයි පොලිස්‌ පරීක්‍ෂණවලින් අනාවරණය වී ඇත.


ඝාතනයට ලක්‌ වූ දරුවාගේ හා සැකකාර දරුවාගේ මව්වරුන් දෙදෙනාම ඔවුන් අතහැර දමා වෙනත් විවාහයන් කරගෙන ඇති බවත් මෙම දරුවන් දෙදෙනා රැකබලාගෙන ඇත්තේ ඔවුන්ගේ පියවරුන් දෙදෙනා බවත් හෙළි වී තිබේ.

මේ දරුවෝ දෙන්නම එක ළඟයි පදිංචි වෙලා ඉන්නේ. ඒ වගේම ඔවුන් හොඳ මිතුරන්. දරුවන් නොමඟට යැමට හේතුව මව් සෙනෙහස අහිමිවීම යෑයි ඌරුබොක්‌ක පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. කේ. චන්ද්‍රසේන මහතා "දිවයින" ට පැවසීය.

දරුවාගේ මරණයට අදාළ මූලික මහෙස්‌ත්‍රාත් පරීක්‍ෂණය මොරවක වැඩබලන මහෙස්‌ත්‍රාත් අජිත් පී. අබේසේකර මහතා විසින් සිද්ධිය වූ ස්‌ථානයට පැමිණ පවත්වන ලදී.

මේ පිළිබඳව ඌරුබොක්‌ක පොලිස්‌ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක එච්. කේ. චන්ද්‍රසේන මහතාගේ උපදෙස්‌ මත නිලධාරීහු කණ්‌ඩායමක්‌ වැඩිදුර පරීක්‍ෂණ පවත්වති.

Gossip Lanka Hot News Previous News Archive