තහනම් උත්තේජන භාවිතා කිරීමේ වරදට හසුවී වසර 2ක තරග තහනමකට ලක්ව සිටි බොක්සිං ක්රීඩක මංජු වන්නිආරච්චි ලබන මස පැවැත්වෙන ජාතික බොක්සිං ශූරතාවලියෙන් සිය බොක්සිං තරග දිවියේ දෙවැනි ගමන අරඹයි.
2010 වසරේ ඉන්දියාවේ පැවැති පොදු රාජ්ය මණ්ඩල ක්රීඩා උලෙළේ බොක්සිං තරග ඉසව්වේ බැන්ටම් වේට් බර පන්තියේ රන් පදක්කම දිනු මංජු වන්නිආරච්චිට තහනම් උත්තේජන භාවිතා කිරීමේ වරදට හසුවීමෙන් සිය රන් පදක්කම අහිමි විය. පසුව ලෝක තහනම් උත්තේජන විරෝධී ඒජන්සියේ (WADA) නීතිරීති අනුව ඔහුට වසර 2ක තරග තහනමක් පැනවුණු අතර එය නිමාවට පත්වූයේ පසුගිය මාසයේ 13වැනිදාය.
ඒ අනුව ලබන මස 17වැනිදා සිට 21දින දක්වා මහනුවර ලීනියා ක්රීඩා සමාජ බොක්සිං වළල්ලේ දී පැවැත්වෙන ජාතික බොක්සිං ශූරතාවලියේ දී ස්ලිම් ලයින් ක්රීඩා සමාජය නියෝජනය කරමින් කිලෝග්රෑම් 56 බැන්ටම් වේට් බර පන්තියෙන් මංජු නැවතත් බොක්සිං වලල්ලට පිවිසීමට නියමිතය.
32 හැවිරිදි වියේ පසුවන මංජුට එම තරගාවලිය තීරණාත්මක සහ අභියෝගාත්මක තරගාවලියක් වනු ඇත.
මේ තරගාවලියේ දී ඔහුගේ ප්රබලතම ප්රතිවාදියා වනු ඇත්තේ පසුගිය ලේටන් සහ ක්ලිෆර්ඩ් බොක්සිං ශූරතා දිනූ ස්ලිම් ලයින් ක්රීඩා සමාජයේම 21හැවිරිදි ගයාන් ජයවීරය.