60 year old woman brutally murdered-හැටදෙහැවිරිදි කතක කපා කොටා මරා දමලා

වතුපිටිවල උනගහදෙණියේ නිවෙසක විසූ යුවළක් ඊයේ(12) දහවල් කිසියම් පිරිසක් විසින් කපාකොටා දැමීමෙන් බිරිය එතැනම මියගොස් සිටි බවත් බරපතළ තත්ත්වයේ පසුවූ සැමියා වතුපිටිවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු කොළඹ ජාතික රෝහලට මාරු කර යැවූ බවත් නිට්ටඹුව පොලිසිය කියයි.


සිද්ධියෙන් මියගොස් ඇත්තේ ඩබ්ලියු.ආර්. ස්වර්ණාවතී (62) මහත්මිය බවට හඳුනාගෙන ඇති අතර බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත්තේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ විශ්‍රාමිකයකු වූ එච්.එම්. වික්‍රමරත්න (65) මහතා ය.

පුතා හා ලේලිය රැකියාවට යාමෙන් පසුව මේ යුවළ වයස අවුරුදු එක හමාරක දරුවා සමග නි‍වෙසේ ගත කරන බවත් ඊයේ දහවල් 2.30 ට පමණ මේ දරුවා ලේ පෙරාගෙන හඩා වැටෙමින් පාර දෙසට ගමන් කරනු දැකීමෙන් පසු අසල්වාසීන් කළ සොයා බැලීමේදී ස්වර්ණාවතී මහත්මිය මුහුනේ කැපුම් තුවාල සහිතව කුස්සියේ වැටී මියගොස් සිටිනු දැක ඇත. වික්‍රමරත්න මහතා කුස්සිය අසල කෙසෙල් ගසක් යට වැටී සිට ඇති අතර හිසේ කැපුම් තුවාල සහිතව සිටි ඔහු ප්‍රදේශවාසීන් විසින් වහාම වතුපිටිවල රෝහලට ඇතුළත් කර ඇත.

ඔහු වතුපිටිවල රෝහලින් කොළඹ ජාතික රෝහලට මාරු කර යවා ඇති අතර ඔහුගේ ජීවිතය දැඩි අවදානම් තතත්වයක පවත්නා බව මේ පිළිබඳව කළ විමසීමේදී ජාතික රෝහලේ ප්‍රකාශකයකු කීය. මේ නි‍වෙසේ තිබූ අල්මාරි හයක් කඩා ඇති බව පොලිස් පරීක්ෂණයේදී හෙලිවූ අතර ඒවායේ තිබූ වටිනා දේපළ සොරා ගෙන ගොස් ඇතැයි පොලිසිය සැක කරයි.

අපරාධකරුවකු හෝ දෙදෙනකු මේ සදහා එක්ව ඇතැයි සැක කෙරෙන අතර නිවැසියන් අපරාධකරුවන් හඳුනාගැනීම නිසා මෙසේ ඝාතනය කරන්නට ඇතැයි පොලිසිය සැක කරයි. සිද්ධිය වන අවස්ථාවේ දරුවා නිදා සිටින්නට ඇතැයිද පසුව ඇහැරුනු දරුවා ආච්චි හා සීයා ගේ ඇගේ දැවටීමෙන් ලේ තැවරෙන්නට ඇතැයිද පොලිසිය සැකකරයි. මියගිය ඩබ්ලියු.ආර්. ස්වර්ණාවතී මහත්මියගේ මරණය පිළිබඳ මහේස්ත්‍රාත් පරීක්ෂණය හා පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට පොලිසිය කටයුතු යොදා තිබිණි.

මේ අපරාධයට සම්බන්ධ වූවන් පිළිබඳව කිසිදු තොරතුරක් ඊයේ(12) සවස් වනවිටත් ලැබී තොතිබුණු අතර අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරි ජයන්ත පුෂ්පකුමාර මහතාගේ උපදෙස් හා නිට්ටඹුව මූලස්ථාන පොලිස් පරීක්ෂක විලෙට් බණ්ඩාර මහතාගේ මෙහෙයවීම මත අපරාධ මර්දන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක කුමාරසිරි මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

.

Gossip Lanka Hot News Previous News Archive