අවුරුදු 8කට පසු පලස්තීනයේ හිටපු නායක යසර් අර්පත්ගේ සිරුර ගොඩ ගැනේ, Yasser Arafat's tomb to be opened

පලස්තීනයේ හිටපු නායක යසර් අර්පත්ගේ සිරුර ලබන අඟහරුවදා ගොඩ ගැනීමට සැලසුම් කර තිබේ.
සිරුර ගොඩ ගැනීමට තීරණය කොට ඇත්තේ හිටපු නායක යසර් අර්පත්ගේ මරණයට හේතුව වස ශරීරගත වීමක්ද යන්න සම්බන්ධයෙන් මතුව ඇති සැකය නිරාකරණය කර ගැනීම සඳහා පැවැත්වෙන පරීක්ෂණයේ අංගයක් වශයෙනි.
ප්‍රංශය,ස්විස්ටර්ලන්තය සහ රුසියාව යන රටවලින් පැමිණෙන අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් එය පරීක්ෂා කරනු ඇතැයි පලස්තීන බල අධිකාරය ප්‍රකාශ කළේය.

අනතුරුව දේහය බටහිර ඉවුරේ රාමල්ලා නගරයේ දැනට මිහිදන් කර ඇති ස්ථානයේ එදිනම යලි තැන්පත් කරන බව පලස්තීන බල අධිකාරිය ප්‍රකාශ කරයි.
2004 දී ප්‍රංශයේ රෝහලකදී මිය ගිය අර්පත්ගේ මරණයට හේතුව එදා නිශ්චිතව තීන්දු කර නොතිබිණ.
එහෙත් ඊශ්‍රායලය විසින් අර්පත්ට වස දෙන ලද බවට පලස්තීන නිලධාරීහු දිගුකලක සිට චෝදනා නගමින් සිටියහ.
ඊශ්‍රායලය එම චෝදනා ප්‍රතික්ෂේප කළේය.
අර්පත්ගේ ඇඳුම්වල පොලෝනියම් නම් විකිරණශීලී ද්‍රව්‍ය සැලකිය යුතු මට්ටමකින් තිබුන බවට මේ වසර මුලදී වාර්තා පළවීමත් සමඟ, යලිත් මරණ පරීක්ෂණයක් පැවැත්වීමට ප්‍රංශය පියවර ගෙන තිබේ.





Gossip Lanka Hot News Previous News Archive