කහවත්තේ තවත් බිල්ලක ලේ හලයි, Another murder case in kahawaththa

 88, 89 භීෂණ සමයේදී ඝාතනය කෙරුණු කාන්තාවකගේ වෛරීය ආත්මය කහවත්ත කොටකෙතන සැරිසරන බවට කෑගල්ලේ පඤ්ඤාරාම භික්‍ෂුන් වහන්සේ නමක් ප්‍රකාශ කර ගෙවී ගියේ පැය ගණනාවකි.
කොටකෙතනට කිලෝමීටර් දෙකක් දුරින් පිහිටි දිඹුල්වලදී ඉකුත් 10 රාත්‍රි තවත් ඝාතන තැතක් වාර්තා විය. තරුණ අඹු සැමි යුවළක් දරුණු කැපුම් තුවාලවලට ලක්ව රත්නපුර මහා රෝහලේ ප්‍රතිකාර ලබති.


දෛවය ඔවුන්ට කාරුණික වූ නිසා ජීවිත අනූනවයෙන් බේරුණි. කහවත්තේ ඝාතන රැල්ලේ දිවි බේරාගත් සිවුදෙනාගෙන් දෙදෙනකු වන්නේ එම අඹු සැමි යුවළය.
කෑගල්ලේ පඤ්ඤාරාම හිමියෝ පැවැසූ ලෙස කහවත්ත කොටකෙතන අවට සැරිසරන්නේ වෛරී ආත්මයක්ද? එම වෛරී කාන්තා ආත්මය කාට හෝ ආරූඪ වේද? නැතිනම් සංවිධානාත්මකව සිදුවෙන අපරාධ රැල්ලක්ද? එසේත් නැතිනම කොටකෙතන ඝාතනවල ගිණුමට බැර කරමින් වෙනත් වුවමනා ඉටුකර ගැනීමක්ද? මේ ආදී පිළිතුරක් නැති ප්‍රශ්නවලින් ගම්වාසීහු දැන් හෙම්බත්ව සිටිති.

දෙදරු මවක වූ ඩී.බී. චන්ද්‍රාවතී මහත්මිය අවසාන වරට ඝාතනය කර ගෙවී ගියේ දින 11කි. එහි පරීක්‍ෂණ සිදුකරමින් තිබිණ. ප්‍රදේශය පොලිස් විශේෂ කාර්ය බළකාය කැඳවා කඳවුරක්ද පිහිටුවා ගතවූයේ දින පහකි. මේ 10 රාත්‍රි කහවත්තට යළිත් අඳුරු ලේ බලය වැදුණි. ප්‍රදේශවාසීහු කිසිවක් සිතාගත නොහැකිව තුෂ්ණිම්භූතව සිටිති.
වෛරී කාන්තා භූත ආත්මය පලවා හරින්නට නම් ගම පුරා රතන සූත්‍රය දේශනා කොට පිරිත් පැන් ඉසින ලෙස එම ආත්මය ගැන ප්‍රකාශය කළ හිමියන් පවසා තිබිණි. එවැනි පිරිත් දේශනා මෙන්ම පිරිත් පැන් ඉසීම් කොටකෙතන අවට පසුගිය කාලය පුරා වරින් වර සිදුවිය. දින දෙකක් පුරා ශාන්තිකර්මයන්ද පැවැත්විණි. එහෙත් අපරාධ රැල්ල නොනැවතී ගලා යයි.

නොබෝදා ඝාතන තැතට ලක්වූ යුවළකගේ පුංචි අම්මා කෙනකු වන කුසුමාවතී මහත්මිය කහවත්ත ඕපාතේ පදිංචිකාරියකි. ඇය මෙසේ කීවාය.
‘කලින් රාත්‍රියට බයෙන් හිටියා. චන්ද්‍රාවතී කියන එක්කෙනා මරා දැමුවේ සවස. ඒ නිසා දැන් අපි දහවලටත්, රාත්‍රියටත් දෙකේදීම බයෙන් ඉන්නේ. හමුදාව පොලිසිය හිටියාට මෙහෙම අපරාධ වෙනකොට බය නැද්ද? මිනිස්සු මෙහෙම අපරාධ කරන්නේ ඇයි කියලා අපට පෙනෙන්නේ නැහැ. තව ඩිංගෙන් මේ දරුවෝ දෙන්නා මැරෙනවා. වාසනාවට බේරුණා.’

දෝන අමරසිරි (28) සහ කේ.එල්. දිල්හානි (27) සැමියාත් බිරියත් කඩු ප්‍රහාරවලට ගොදුරු වූයේ ඔවුන්ගේ නිවෙසේ නිදන කාමරයේදීය. පස් හැවිරිදි දියණිය අම්මා හා තාත්තාට මැදිව සිටි අතර ඇයට කිසිදු අනතුරක් සිදුවූයේ නැත.
බරපතළ තුවාල ලැබූ කේ.එල්. දිල්හානිගේ නැඟණිය කේ.එල්. අනෝමා ප්‍රියදර්ශනී මෙසේ කීවාය.
’31 රාත්‍රි 12ට විතර අක්කලාගේ ගෙදර පැත්තෙන් මරලතෝනි ඇහුණා. තාත්තායි මමයි ඒ දිහාවට දිව ගියා. අක්කා ලේ ගලන තුවාල සහිතව කෑගසමින් හිටියා. අයියාත් තුවාල වෙලා. මම දරුවා ගැන බැලුවා. එයාට කිසිම හානියක් වෙලා තිබුණේ නැහැ.
අපි කාටවත් කරදරයක් නැතිව ජීවත්වෙන අය. මාගේ අක්කාට එයා බැඳපු අයියාට කරදර තිබුණේ නැහැ. මෙහෙම අපරාධ වෙන්නෙ ඇයි කියන්න දන්නේ නැහැ. රෝහලේ ඉන්න අක්කාත්, අයියාත් කිව්වා දරුවා බලන්න ඕනි කියලා. අපි දුව එක්කරගෙන ගියා.

කඩු ප්‍රහාරයට ලක්වූ අමරසිරි 11 වසරක් හමුදා සේවයේ නිරත වී ඉවත් වූ අයෙකි. ඒ නිසා ඔහු අනුගමනය කළ ආරක්‍ෂක උපක්‍රමත්, ඔහුගේ බිරිය දිල්හානිද අපරාධකරුවා දෑතින්ම ග්‍රහණයට හසුකර ගැනීමත් නිසා ඔවුන්ගේ ජීවිත බේරුණි. එසේ නොවූයේ නම් අපරාධකරුවාගේ රුදුරු ප්‍රහාරය දරුණුවීමට ඉඩ තිබූ බව පොලිසියේ අදහසයි.
සැකකරු විසින් කඩුව හා විදුලි පන්දම අපරාධය සිදුවූ ස්ථානයේ දමා ගියේය. ඒවා ඉව කරන ලද ‘රොකි’ නම් නිල සුනඛයා පොලිස් පරීක්‍ෂණවලට මඟ පෙන්වීමක් ලබාදී තිබේ.

මෙම ඝාතන තැත කිසියම් පෞද්ගලික ආරවුලක්ද? පෞද්ගලික අමනාපයක්ද? යන්න ගැනද පරීක්‍ෂණ කණ්ඩායමේ අවධානය යොමු කර තිබේ. 10 රාත්‍රි දිඹුල්වල නිවෙසක් අසල මත් වතුර පානය කළ කිහිප දෙනකු ගැන පරීක්‍ෂණ පැවැත්වේ. පුද්ගලයන් පස්දෙනකුගෙන් ප්‍රශ්න කිරීම් සිදුකර තිබේ. එහෙත් ඊයේ (12දා) පස්වරු තුන පමණ වන විටත් නිශ්චිතවම සැකකරුවන් හඳුනාගෙන නැති බව පොලිස් ආරංචි පවසයි.

කොටකෙතනට මායිම් වූ දිඹුල්වල, නිලදුර හා ඕපාත ගම්වල ත්‍රාසය, භීතිය හා ගම්වාසීන් පීඩාවට ලක්කළ වේදනාවට තවමත් නිමාවක් නම් නැත. වසර හතරක පමණ කාලයේදී වරින් වර කාන්තා ඝාතන 15ක් සිදුවීමෙන් මේ ගම්වාසීන්ගේ මානසික සැනසීම අහුරා තිබේ. නින්දත් නොනින්දත් අතර රැය පහන් කරන ගම්වාසීන්ට තම දෛනික ජීවන මාර්ග පවා අත්හැරීමට සිදුව ඇත. හරියාකාරව රැකියාවක යෙදීමට ඔවුන්ට නොහැකිව තිබේ. නිවාස රැකගෙන නිවෙසට වී සිටින පිරිමින්ද සිටිති. යමක්කමක් කරකියාගත හැකි අය ගම අත්හැර යති. පවුල් 30ක් පමණ දැනටමත් මේ කලාපය අතහැර ගොසිණි.
පසුගිය යුද සමය සිහිපත් කරන දසුන් කොටකෙතන අවට කලාපයේ දක්නට තිබේ. පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීහු යතුරුපැදිවලින්ද, පාගමනින්ද ගම්මාන පුරා සැරිසරති. ඒ අතර පිරිසක් කැලෑවල රැඳී සිට අපරාධකරුවන් ඉලක්ක කර බලා සිටිති. නිවාසවල ඇසිඩ් බෝතල් පුරවාගෙන, කඩු පොලු තබාගෙන නිවැසියෝ සූදානමින් සිටිති.

එහෙත් අපරාධකරුවන් හෝ අපරාධකරු ඉතා සියුම් ලෙස සියලු උපක්‍රම පරදා තම ඉලක්කයට ළං වෙති.
කොටකෙතන ද්විත්ව ඝාතනයට සැකපිට බන්ධනාගාරයේ සිටින පිරිසක් බේරාගැනීමට තවදුරටත් ඝාතන සිදුකරන බව ගම්වාසීන් තුළ මතයක් නිර්මාණය වී තිබේ. පරීක්‍ෂණ කණ්ඩායම් එය බැහැර නොකරමින් වැඩිදුර පරීක්‍ෂණ විවිධ ඉසව් හරහා සිදුකරති.
හැටකට වැඩි පොලිස් විශේෂ කාර්ය බළකායටත්, පනහකට වැඩි පොලිස් නිලධාරීන්ගේත් ඇස් වසමින් කිලෝමීටර දෙක තුනක වපසරියක සිදුවෙන මේ අපරාධ රැල්ල නතර කිරීමට ජාතික මට්ටමේ අවධානයක් යොමුවිය යුතුව තිබේ.

පැල්මඬුල්ල - ඉරෝක ගයන්ත පෙරේරා

Gossip Lanka Hot News Previous News Archive