තීන්දුව සැලසුම් කරලා ඉවරයි
රජය විසින් අගවිනිසුරු ශිරාණි බණ්ඩාරනායක මහත්මියට එරෙහිව ගෙන එන ලද දෝෂාභියෝග යෝජනාවේ තීන්දුව කල්තියා සැලසුම් කරන ලද්දක් බව ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික,පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක මහතා පවසයි.අද බත්තරමුල්ල පක්ෂ කාර්යාලයේ පැවති මාධ්‍ය හමවකදී ඔහ් මේ බව කියා සිටියේය. එහිදී ඔහු මෙසේද සඳහන් කළේය.
මෙම දෝෂාභියෝගය සම්බන්ධයෙන් එන තීරණය පිළිබඳ කිසිදු සැකයක් නැහැ. මොකද මෙම තීන්දුව රාජපක්ෂ පවුල විසින් කලින් සැලසුම් කරණ ලද තීන්දුවක් බව අපි හොඳාකාරවම දන්නවා. එය සාධාරණීකරනය කරන්න ව්‍යවස්ථානුකූල කිරීමට දැන් නාඩගමක් පටන් අරගෙන තිබෙනවා. තිර රචනය පසුබිම වේදිකා සැරසිලි සහ අධ්‍යක්‍ෂණය සියල්ල රාජපක්‍ෂ පවුල විසින් සිදු කරමින් ඉන්නවා. එම නාඩගමේ රඟ දැක්වීමට පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්‍ෂ මන්ත‍්‍රීවරු කණ්ඩායම් සැදී පැහැදී ඉන්නවා. ඔවුන්ට ඇත්තේ උසුලූ විසුළු චරිතවලට පණ ගැන්වීම පමණයි. අපේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය විනාශ කරන පොදු පැවැත්ම අඩපණ කරන මාරාවේශයෙන් සිදුකරන කි‍්‍රයාදාමයක් ලෙස තමයි අපි මෙය දකින්නේ.
2012 නොවැම්බර් 06 වෙනි දින දොෂාභියෝග යෝජනාව පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රයට ඇතුළු කළා. එම දෝෂාභියෝග යෝජනාවේ චෝදනා 14 ක් ඇතුළත් වෙනවා. එයින් 9 සහ 11 දරණ චෝදනාවන් උපුටා දක්වන්නේ 1992 ශ‍්‍රී ලංකා නව නීති වාර්තාවට අනුව ඇති අධිකරණ තීන්දුවක් නමුත් එම නව නීති වාර්තාවට අනුව 9 - 11 දරණ චෝදනා ඉදිරිපත් කිරීමට කිසිදු නීතිමය තත්ත්වයක් නැහැ. අප සහ අපගේ නීතිඥ කණ්ඩායමි විසින් විමසා බැලූවා. නමුත් කිසිදු පිටුවක එවැනි චෝදනාවකට අදාළ කිසිදු නීතිමය කරුණක් ඇතුළත් වෙලා නැහැ. 1992 වන විට අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක මහතමිය කටයුතු කළේ කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කත්කාචාර්යවරියක් ලෙසයි. 1992 නියෝගයට අනුව චෝදනාවක් එල්ල කළ හැකි වන්නේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුට පමණයි. හරි පැහැදිලියි පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති මෙම දෝෂාභියෝගය වැරදි කරුණු ඉදිරිපත් කරමින් සකස් කළ එකක් බව.
පාර්ලමේන්තුවේ නීති රෙගුලාසි වලට අනුව සාවද්‍ය කරුණු මත පදනම්ව පාර්ලිමේන්තුවට තොරතුරු ලබා දිය නොහැකියි. පාර්ලිමේන්තුව නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරු 117ක්ම මෙලෙස පාර්ලිමේන්තුවට වැරදි කරුණු ඉදිරිපත් කොට තිබෙනවා. මෙම කණ්ඩායමට ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරු, පාර්ලිමේන්තුවේ දීර්ඝ කාලයක් නියෝජනය කරනලද මන්ත‍්‍රීවරු, ඒ වගේම නීතිඥයින් ඇතුළත් වෙනවා. එනිසා මෙම කණ්ඩායම පිළිබඳව පාර්ලිමේන්තුවේදී වරප‍්‍රසාද ප‍්‍රශ්නයක් නැගිය හැකිද යන්න පිළිබඳ සොයා බැලිය යුතු වෙනවා. මෙහිදී පැන නගින ප‍්‍රධාන ප‍්‍රශ්න කීපයක් තිබෙනවා. එකක් තමයි මෙම මන්ත‍්‍රීවරුන්ගෙන් හිස් කොලයකට අත්සන් ගත්තාද යන්න. අනෙක තමයි නැතිනම් මෙම කණ්ඩායම මෙම චෝදනා කියවා බලා නැතිද යන්න. තෙවැනි කාරණය තමයි රාජපක්ෂගේ දබර ඇඟිල්ලට මෙම මන්ත‍්‍රී කණ්ඩායම යටවුනාද යන්න.
ඊළඟ කාරණය තමයි මෙම දෝෂාභියෝගය සම්බන්ධයෙන් පත් කරන පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව. මන්ත‍්‍රීවරු 117 දෙනා මුලින් අගවිනිසුරුවරියට අපහාස කළා. නමුත් දැන් එහි චෝදනා සංශෝධනය කරන්න උත්සාහ කරමින් ඉන්නවා කාරක සභාව තුළ. නමුත් එසේ කළ නොහැකියි. එසේ කිරීම සඳහා කිසිදු අවස්ථාවක් ආණ්ඩුවට හිමි වෙලා නැහැ. ආණ්ඩුවට දැන් කිරීමට ඇත්තේ තමන්ගෙන් සිදුවූ වැරැද්ද පිළි අරගෙන මෙම දෝෂාභියෝගය ඉල්ලා අස්කර ගැනීමයි. නැතිනම් වෙනත් දෝෂාභියෝගය යෝජනාවක් ගෙන ඒමයි. ලංකා ඉතිහාසයේ වැඩිම මන්ත‍්‍රීවරු ප‍්‍රමාණයක් අත්සන් කරපු මෙම දෝෂාභියෝගය, මෙතරම් කලක් ඉවසලා බැරිම තැන ගෙනාවා යැයි ආණ්ඩුව පම්පෝරි ගහන මෙම චෝදනා සකස් කරද්දී ඒ පිළිබඳ සැලකිල්ලක් දැක්වුවේ නැත්තේ මොකද කියන ප‍්‍රශ්නයයි අපිට තිබෙන්නේ. එයින්ම පැහැදිලි වෙනවා මෙම දෝෂාභියෝගය ගෙනාවේ අතිශයින්ම වෛරී සහගත චේතනාවෙන් බව.
අනෙක් කරුණ තමයි චෝදනා අංක 3 සහ 4ට පදනම් වෙලා තිබෙන්නේ එන්.ඩී.බී බැංකුවේ අගවිනිසුරුවරියට තිබෙනවා යැයි කියන ගිණුම් කිහිපයක් සහ බැංකු ගිණුම් වාර්තා. නමුත් සාමාන්‍යයෙන් බැංකු පනතට අනුව ගිණුම් හිමියන්ගේ ගිණුම් පිළිබඳ විස්තර කිසිවෙකුට හෝ ලබාදිය නොහැකියි. පාර්ලිමේන්තුවේදී අසනු ලැබූ ප‍්‍රශ්නයකට පිළිතුරු දෙමින් දිනේෂ් ගුණවර්ධන ඇමතිවරයාම මේ පිළිබඳ පාර්ලිමේන්තුවේදී කියා සිටියා. නමුත් දැන් එන්.ඞී.බී. බැංකුව විසින් අගවිනිසුරුවරියගේ බැංකු ගිණුම් විස්තර පිටත පිරිසකට ලබාදීලා. අඩුම තරමින් පුද්ගලයින් 117කට ලබාදී තිබෙනවා. එනිසා එන්.ඞී.බී බැංකුවේ ගිණුම් හිමියන් අවදානමකට ලක්වෙලා සිටිනවා. බැංකුව විසින් මුළුමනින්ම බැංකු පනත උල්ලංඝණය කර තිබෙනවා. ඔවුන් ඉදිරියේදී ගිණුම් පිළිබඳ විස්තර පාතාලයට, කප්පම්කරුවන්ට, රහස් පොලීසියට හෝ වෙනත් අපරාධකාරයන්ට ලබාදේවි දැයි සැකයක් මතුවෙලා තිබෙනවා. සාමාන්‍යයෙන් එවැනි ආකාරයේ ගිණුම් පිළිබඳ වාර්තා ලබාදිය හැක්කේ අධිකරණ තීන්දුවකින් පමණයි. එවැනි කිසිදු තීන්දුවක් අධිකරණයක් විසින් බැංකුවට ලබාදී නැහැ. ගිණුම් හිමියන්ගේ ගිණුම් පිළිබඳ විස්තර රාජපක්ෂ පවුලේ බුදලයක් නොවෙයි. එනිසාම තමයි අප කියන්නේ මෙම දෝෂාභියෝගයේ චෝදනා පෙරලා ආණ්ඩුවට ඇති චෝදනා වීම වළක්වන්න බැහැ කියලා.
පාර්ලිමේන්තුවේ 117ක් අත්සන් කරපු ලියවිල්ලට නැවත විභාග කිරීමට තේරීම් කාරක සභාවක් පත් කිරීම තේරුමක් නැති වැඩක්. මොකද පාර්ලිමේන්තුවේ බහුතරයට අවශ්‍ය වන්නේ 113ක් පමණයි. දැන් එම ප‍්‍රමාණයට වැඩියෙන් මෙම දෝෂාභියෝග යෝජනාවට අත්සන් තබා තිබෙනවා. අවම වශයෙන් හෝ අගවිනිසුරුවරියට සාධාරණයක් ඉටුවීමට නම් මෙම කාරක සභාව සම නියෝජනයක් තිබිය යුතුයි. එසේත් නොමැති නම් 7:6 අනුපාතයෙන් පත්කළ යුතුයි. නමුත් කතානායකවරයාගේ අනුමැතියෙන් පත්කරන මෙම කාරක සභාව පත් කර තිබෙන්නේ 7:4 අනුපාතයෙන්. එනිසා එය කිසිසේත් සාධාරණ සංයුතියක් නොවෙයි. මෙම දෝෂාභියෝගය පිළිබඳ පුළුල් අධ්‍යානයකින් පසුව අපි ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු කණ්ඩායම සමඟ සාකච්ඡා කොට ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් කාරක සභාව සඳහා දැනටමත් පා.ම. විජිත හේරත් නම් කොට තිබෙනවා.
මෙම දෝෂාභියෝගය ගෙන ඒමට ප‍්‍රධාන වශයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නඩු තීන්දු දෙකක් පදනම් වුණා. එකක් තමයි උසස් පෙළ විභාගයේ ඉසෙඞ් ලකුණ සම්බන්ධයෙන් අධිකරණය ලබාදුන් තීන්දුව. ආණ්ඩුව මේ පිළිබඳව සිටියේ දැඩි ස්ථාවරයක. එස්.බී. සහ බන්දුල යන ඇමතිවරුන් වෙදිකාවල මාධ්‍ය හමුවලදී කියා සිටියේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු වරදක් නොමැති බවයි. අනතුරුව අධිකරණය ඉතාම සාධාරණ තීන්දුවක් ලබාදුන්නා සිසුන් 5500කට ආසන්න අමතර පිරිසක් විශ්වවිද්‍යාලවලට බඳවාගන්න කියලා. ඊට අමතරව අධිකරණය උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් ගාමිණී සමරනායක අධිකරණයට කැදෙව්වා ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව කි‍්‍රයාත්මක නොකළ නිසා දඩුවම් නොකර සිටීමට ඇති නිදහසට කාරණා අසා. ඔහුගේ පත්වීම ජනාධිපතිවරයා විසින් සිදුකළ පත්වීමක්. ඒ නිසාම රාජපක්ෂ පාලනයට අධිකරණය ගැන වෛරයක් ඇතිවුණා. එම තීන්දුව රාජ උදහසට ලක්වුණා.
ඊළඟ තීන්දුව තමයි දිවි නැගුම පනත සම්බන්ධයෙන් ලබාදුන් තීන්දුව. මෙම දිවි නැගුම පනතේ කරුණු 16ක්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරන ලද කරුණු. එම පනතේ කරුණුවලින් 1/3ක්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කරලා. දිවි නැගුම පනතේ ඇති නිලධාරී යාන්ත‍්‍රණය, සමිති ජාලය සහ මුදල් සංසරණය යන වගන්ති මගින් මුළුමනින්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කර ඇති බවත් ඒ සඳහා පාර්ලිමේන්තුවේ 2/3කේ බහුතරයත් ජනමත විචාරණයකුත් ලබාගත යුතු බවට අධිකරණය තීන්දුවක් ලබාදුන්නා. එහි සඳහන් වුණේ නිලධාරී යාන්ත‍්‍රණය සම්බන්ධයෙන් ඇති කරුණු මගින් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 03වෙනි වගන්තිය උල්ලංඝණය කර ඇති බවයි.
03 වගන්තියේ සඳහන් වන්නේ ජනතාවගේ පරමාධිපත්‍ය පිළිබඳවයි. එනිසා ජනමත විචාරණයකට යායුතුබවට තීන්දුවක් ලබාදුන්නා. මෙම පනතේ විශේෂම කරුණු 03යි තිබෙන්නේ. නිලධාරී යාන්ත‍්‍රණය, සමිති ජාලය සහ මුදල් සංසරණයයි. බැසිල් රාජපක්ෂ ඇමතිවරයා උත්සාහ කළේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට පිටින් මේ සියල්ල පාලනය කළ හැකි පරිදි නීති සකස් කර ගැනීමටයි. කොටින්ම ගත්තොත් ආණ්ඩුවට පිටින් ආණ්ඩුවක් තමන්ගේ මල්ලීට හදලා දෙන්නයි රාජපක්ෂ උත්සාහ කළේ. මේ තීන්දුවෙන්ද රාජපක්ෂ පවුල කුපිත වුණා. අධිකරණය රාජ උදහසට ලක්වුණා. ඉන් අනතුරුව තමයි රාජපක්ෂ පාලනය අගවිනිසුරුවරිය හඹා යෑම ආරම්භ කළේ. නීති රෙගුලාසිවලට අමතරව සම්පූර්ණයෙන් මඩ අවලාද නගන්න පටන් ගත්තා. අයි.ටී.එන් නාලිකාව පාවිච්චි කරමින් මඩ අවලාද නගන්න පටන්ගත්තා. රාජපක්ෂ පවුලේ ඉතාමත් නිර්ලජ්ජිත පහත් තැනකට වැටුණා. රාජපක්ෂ පාලනයේ පහත්ම තත්වය දැන් පෙන්නුම් කරමින් ඉන්නවා.
මෙතෙක් කලක් මාධ්‍ය සංදර්ශනවලින් පුම්බන ලද ප‍්‍රබන්ධ රාජපක්ෂ යටපත් කරමින් ඇත්ත රාජපක්ෂගේ තත්ත්වය හෙළිදරව් වීමට පටන්ගෙන තිබෙනවා. මෙය තමයි රාජපක්ෂගේ ඇත්ත ස්වභාවය. මෙතෙක් කලක් මෙය වසා දමලා තිබුණා. ඔබට අරලිය ගහ මන්දිරයේ දවසක් ගත කිරීමට හැකියාව ලැබුණොත් මෙම ඇත්ත රාජපක්ෂගේ තත්ත්වය කුමක්දැයි දැකබලාගත හැකිව තිබෙනවා. එනිසා මෙම උත්තරීතර යැයි ඔවුන්ම කියන ලද ආයතන රාජපක්ෂ පාලනය විසින් පහත් තත්ත්වයට පත්කරමින් ඒවාට මඩගසමින් ඉන්නවා. මෙම දෝෂාභියෝගය යනු ඇත්ත සාධාරණය, යුක්තිය වෙනුවෙන් කරන ලද එකක් නෙවෙයි. දෑස් විවර කර බැලූවොත් මෙම වාක්‍යවල ඇතුළේ තිබෙන අදහස් දිහා බැලූවොත් ඔබට බලන්න පුළුවන් මොකක්ද මේ උවමනාව කියලා. මෙය තමයි ඇත්ත රාජපක්ෂගේ ස්වභාවය. තමන් අවනත කර ගැනීමට අවශ්‍ය ආයතනවලට මඩගැසීම්, අවලාද නැගීම්, තර්ජන, පහරදීම් සියල්ල සිදුකරමින් සිටිනවා. ඒ නිසා අප සැමට ඇත්ත සටනක් තිබෙනවා. ජනතාවගේ යුක්තිය සාධාරණත්වය වෙනුවෙන් ඒවා ආරක්ෂා කර ගැනීම සඳහා සටනක් තිබෙනවා ඒ සඳහා ඉදිරියට එන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.