BBC අධ්‍යක්ෂ ජනරාල්වරයා ඉල්ලා අස්වෙයි

බීබීසී යේ අධ්‍යක්ෂ ජනරාල් ජෝර්ජ් එන්ට්විස්ල් ඊයේ රාත්‍රියේ සිය පදවියෙන් ඉල්ලා අස්විය.
ගවේෂණාත්මක වාර්තා වැඩසටහන් විකාශනය කරන බීබීසීයේ නිවුස්නයිට් වැඩසටහන විසින් පාලක කොන්සර්වේටිව් පක්ෂයේ හිටපු අමාත්‍යවරයෙකුට එරෙහිව ළමා ලිංගික අපචාර නැගීමෙන් අනතුරුව හටගත් ආන්දෝලනයේ ප්‍රතිඵලයක් ලෙසිනුයි අධ්‍යක්ෂ ජනරාල්වරයාට පදවිය හැර යාමට සිදුවූයේ.

මේ අවස්ථාවේ කළ යුතු ගෞරවනීයම දෙය අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් ඉල්ලා අස්වීම බව පැවසූ ඔහු, කෙසේ වුව අවුරුදු 23 ක් බීබීසී යේ සේවය කොට පළපුරුද්දක් තිබූ තමා මීට සති කිහිපයකට පෙර අධ්‍යක්ෂ ජනරාල් ධුරය සඳහා තේරී පත් වූයේ ඉදිරිපත් වූ හොඳම අපේක්ෂකයා තමන් නිසා බවද පැවසීය.

"කොහොම වුනත් බීබීසී යට දැන් නව නායකත්වයක් අවශ්‍ය වෙලා තිබෙන බව පසුගිය සති කිහිපය ඇතුලත සිදුවුණු අසාමාන්‍ය සිදුවීම්වලින් පස්සේ මට තීරණය කරන්න සිද්ද වෙලා තියෙනවා," බවද අධ්‍යක්ෂ ජනරාල් ධුරයෙන් සමුගනිමින් ජෝර්ජ් එන්ට්විස්ල් කියා සිටියේය.

ජෝර්ජ් එන්ට්විස්ල්ගේ ඉල්ලා අස්වීමෙන් අනතුරුව බීබීසී යේ සංවිධානාත්මක ව්‍යුහය රැඩිකල් වෙනසකට භාජනය විය යුතු බව බීබීසී යේ සභාපති පැටන් සාමිවරයා මේ අතර පවසන්නේ.

හටගත් ආන්දෝලනය හමුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා ගෞරවාන්විතව පදවියෙන් සමුගත් බවද පැටන් සාමිවරයා සඳහන් කළේය.

"ඔහු ලෝකයේ ශ්‍රේෂ්ට ප්‍රවෘත්ති ආයතනයක ප්‍රධාන සංස්කාරකවරයා. ඒ නිසා ඒ නිවුස්නයිට් වැඩසටහනෙන් ප්‍රදර්ශනය කෙරුණු වැරදි ජනමාධ්‍ය භාවිතාවේ වගකීම භාරගත යුතුයි කියල ඔහු විශ්වාස කළා," බවයි පැටන් සාමිවරයා කියා සිටියේ.

ළමා අපචාර පිළිබඳව නිවුස්නයිට් වැඩසහන ඉදිරිපත් කල විමර්ශනාත්මක වාර්තාවේ හිටපු ඇමතිවරයාගේ නම සඳහන් වූයේ නැහැ.

එහෙත් එයින් අනතුරුව අන්තර්ජාලය පුරා පලවූ වාර්තාවල ළමා දූෂකයෙකු ලෙසින් මැක් ඇල්පයින් සාමිවරයාට චෝදනා එල්ලවී තිබිණ.

මේ තත්ත්වය යටතේ බීබීසී යේ විශ්වසනීය භාවය පිළිබඳව ගැටළු සහගත තත්ත්වයක් මතුව තිබූ හෙයින් අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ තීරණය පිළිගැනීමට සිදුවන බවයි ස්වදේශ කටයුතු තෙරේසා මේ කියා සිටියේ.

එය අනුමත කරන ලේබර් පක්ෂයේ නියෝජ්‍ය නායිකා හැරියට් හාමන් අවධාරණය කරන්නේ මේ අර්බුදය හමුවේත් බීබීසී ය පිලිබඳ ජනතා විශ්වාසය තවමත් පලුදු වී නැති බවයි.

Gossip Lanka Hot News Previous News Archive