කහවත්ත යළි භීතියෙන් ඇලළේ /Another woman killed in Kahawatta

කහවත්ත කොටකෙතන වරාපිටිය ප්‍රදේ්ශයේ දී දෙදරු මවක් ඊයේ (31) සවස 6.00 ට පමණ තියුණු ආයුධවලින් කපා කොටා ඝාතනය කර තිබේ.
මෙලෙස ඝාතනය කර ඇත්තේ වී. ඩී. චන්ද්‍රාවතී නැමැති 66 හැවිරිදි කාන්තාවකි.



කහවත්ත පොලිස් බල ප්‍රදේ්ශයේ කොටකෙතන කලාපයේ වසර හතරක් තුළ සිදු වූ පහළොස් වැනි කාන්තා ඝාතනය මෙයයි.

මෙම ඝාතනයට ලක්වූ කාන්තාව සිය පිරිමි දරුවා (25) සමඟ නිවසේ ජීවත් වෙයි. කහවත්ත ප්‍රදේශයේ පුද්ගලික තේ වත්තක ක්ෂේත්‍ර නිලධාරියෙක් ලෙස සේවය කරන මෙම පිරිමි දරුවා ඊයේ පස්වරුවේ රැකියාව නිමකොට නිවසට පැමිණි අවස්ථාවේ දී මව නිවස තුළ නොසිටීම නිසා සොයා බලද්දී මව නිවසේ ඉදිරිපස කෙළවරක බිම ඇද වැටී සිටින ආකාරය දැක තිබේ.

ඉන් පසුව අසල්වාසීන්ට සහ ඥාතීන්ට සිද්ධිය දැනුම් දී ඇත. ඝාතනය වූ කාන්තාව ගේ නිවසට කිලෝ මීටරයක් පමණ දුරින් ඇති පොලිස් මුරපොළේ නිලධාරීන් ද මෙම සිද්්ධිය සැලවීමත් සමග මේ ස්්ථානයට පැමිණ වැටී සිටි කාන්තාව කහවත්ත මූලික රෝහලට රැගෙන ගොස් තිබේ.

කහවත්ත මූලික රෝහලේ බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා මෙම කාන්තාව පරීක්ෂා කිරීමෙන් පසු ඇය මිය ගොස් ඇති බවට තහවුරු කළේය.

මෙම කාන්තාව නිවස ඇතුලේ ඝාතනය කර ඇති බව සොයා ගෙන තිබේ.

ඝාතනයට ලක් වූ කාන්තාවගේ සැමියා කලවාන ප්‍රදේශයේ තේ වත්තක සේවය කරයි. දියණිය විවාහ වී වෙනත් ප්‍රදේ්ශයක පදිංචි වී සිටී.

ඝාතකයා ගෙවත්තට ඇතුළු වන විට ගේට්ටුවේ අගුලට කෝටු කැබැල්ලක් ගසා ඇති බවට පොලිසිය සැක කරයි.

කහවත්ත පොලිසිය සහ රත්නපුර විශේෂ පොලිස් කණ්ඩායම් මේ පිළිබඳව පරීක්ෂණ පවත්වති. විශේෂ කාර්ය බළකාය ද එම පරීක්ෂණ සඳහා සහයෝගය ලබා දෙති.

මේ මරණය සම්බන්ධයෙන් මීට මාස කීපයකට පෙර කොටකෙතන ප්‍රදේශයේ දී සොහොයුරියන් දෙදෙනකු ඝාතනය කළ සිද්ධියේ චූදිතයා සැක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පි‍්‍රශාන්ත ජයකොඩි මහතා ‘දිනමිණ’ ට කීය.

එම සැකකරු මේ වන විට අධිකරණය මගින් ඇප පිට මුදාහැර ඇති බවත් ඔහු කහවත්ත ප්‍රදේශයේ සැරිසරා ඇති බවත් ඒ මහතා කීය.

සොහොයුරියන් දෙදෙනා ඝාතනය කර තිබූ ආකාරයටම ඊයේ සවස මරණයට පත්ව සිටි කාන්තාව ද ඝාතනයට ලක්කර සිටීම නිසා ඉහත සැකකරු මේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය.

Gossip Lanka Hot News Previous News Archive