දරුණු ගණයේ අපරාධකරුවන් මඩකළපු දූපතක සිර කෙරේ

වැලිකඩ බන්ධනාගාරයේ මරණ දඬුවම නියම වූ සහ ජීවිතාන්තය දක්වා සිරදඬුවම් විඳින දරුණු ගණයේ අපරාධකරුවන් මඩකළපුව ප්‍රදේශයේ මුහුදෙන් වට වූ දූපතක පිහිටි ගොඩනැඟිල්ලකට ගෙන යෑමට පුනරුත්ථාපන සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යංශය තීරණය කොට තිබේ. ඒ අනුව එම සිරකරුවන් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වලට සම්බන්ධ සිරදඬුවම් විඳින සිරකරුවන්ද ඇතුළු දහසක් පමණ ප්‍රථම පියවර වශයෙන් එම දූපතට ගෙනයෑමට සැලැසුම් කර ඇත.


එම දූපතේ පිහිටි සෞඛ්‍ය අමාත්‍යංශයට අයත් පැරැණි ගොඩනැඟිල්ලක් මේ සඳහා ලබාදීමට දැනටමත් එකඟත්වය පළවී ඇති බවද අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් “මව්බිම”ට පැවැසීය.
මත්ද්‍රව්‍ය සම්බන්ධ සිරකරුවන් කල්පිටිය ප්‍රදේශයේ දූපතකට ගෙනයෑමට සැලසුම්කර ඇති නමුදු ඒ සඳහා අවශ්‍ය පහසුකම් ලබාගැනීම ප්‍රමාද වන තත්ත්වයක් ඇතිවී ඇති බවද ඔහු සඳහන් කෙළේය. මඩකළපුවේ දූපතක පිහිටි ගොඩනැඟිල්ලේ වාට්ටු තුනක් කඩිනමින් පිළිසකර කර මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ද එහි රැගෙන යෑමට අදහස් කර ඇති බවද ඔහු වැඩිදුරටත් සඳහන් කෙළේය.

සිරදඬුවම් විඳින සිරකරුවන්ට පිටස්තර පුද්ගලයන් සමඟ ජංගම දුරකතන මාර්ගයෙන් සබඳකම් පැවැත්වීමට නොහැකි අයුරින් එම දුරකතන සබඳතා මකා දැමීමේ කඩිනම් ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කෙරෙනු ඇත.

දරුණු ගණයේ සිරකරුවන් එම මුහුදෙන් වට වූ දූපතට ගෙනයෑම ඉදිරි මාස තුන ඇතුළත ක්‍රියාත්මක කරනු ඇත. මේ පිළිබද ඇමැති මණ්ඩල සන්දේශයක් ඉදිරි සති දෙක ඇතුළත ඉදිරිපත් කිරීමට නියමිතය. වැලිකඩ බන්ධනාගාරයේ සිරකරුවන් අතට පත්වන ජංගම දුරකතනවලට ලැබෙන පණිවුඩ හුවමාරු වැළැක්වීම සඳහා අවශ්‍ය යන්ත්‍ර දැනටමත් ඇති නමුදු ඒවා ක්‍රියාත්මක කිරීමේදී අවට නිවෙස්වල දුරකතනද අවහිර වන බව හෙළිවී තිබේ.

Gossip Lanka Hot News Previous News Archive