අස්වර්ගේ හැසිරීම ගැන විශේෂ පරීක්ෂණයක්

පාර්ලිමේන්තුවේ මූලාසනයේ සිටි මන්ත‍්‍රිවරයෙකුගෙන් යම් අඩුපාඩුවක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ වහා සොයා බලා අවශ්‍ය කටයුතු කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේදී අද (20) කියා සිටියේය.

විපක්ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා කළ ප‍්‍රකාශයකට පිළිතුරු ලබාදෙමින් ඒ බව පැවසු කතානායක චමල් රාජපක්ෂ මහතා, පාර්ලිමේන්තුවේ මූලාසනයට පැමිණෙන කිසිදු අයෙකුට අභිමතය පරිදි කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බව අවධාරණය කළේය.

අයවැය කාරක සභා අවස්ථා විවාදයේදී පාර්ලිමේන්තුව ඇමතීම සඳහා ඊයේ ටිරාන් අලස් මන්ත්‍රීවරයාට විනාඩි 05 ක කාලයක් වැඩිපුර ලබාදීමට මූලාසනයේ සිටි ඒ.එච්.එම්. අස්වර් මන්ත‍්‍රිවරයා කටයුතු කළ බව රනිල් වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

එහෙත්, ඒ සඳහා විපක්ෂයේ ප‍්‍රධාන සංවිධායකයාගෙන් අනුමැතියක් ලබාගත යුතු නමුත්, එවැනි අනුමැතියකින් තොරව අස්වර් මන්ත‍්‍රිවරයා කටයුතු කිරීම ගැටළු සහගත බව වික‍්‍රමසිංහ මහතා පෙන්වා දුන්නෙය.

ඒ සම්බන්ධයෙන් තමන් අවස්ථා කිහිපයකදී කරුණු දැක්වීමට උත්සහ කළද අස්වර් මන්ත‍්‍රිවරයා ඊට අවස්ථාවක් ලබානොදුන් බව රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

කෙසේවෙතත් මෙහිදී නැගී සිටි ඒ.එච්.එම්. අස්වර් මන්ත‍්‍රිවරයා කියා සිටියේ, තමන් අතින් වරදක් සිදු වී ඇත්නම් ඒ පිළිබඳ සමාව ඉල්ලා සිටින බවයි.

සිද්ධිය පිළිබඳ පූර්ණ පරීක්ෂණයක් කිරීමෙන් පසු හෙට දිනයේදී සභාවට ප‍්‍රකාශයක් ඉදිරිපත් කරන බව කතානායක චමල් රාජපක්ෂ මහතා එහිදී කියා සිටියේය.

 මූලාසනය සමග ඇතිවූ බහින්බස්‌ වීම 
ගැන රනිල් සමාව ඉල්ලයි

අයවැය කාරක සභා විවාදය අවස්‌ථාවේදී පෙරේදා (19 වැනිදා) මූලාසනය සමග ඇතිවූ බහින් බස්‌ වීමේදී මූලාසනයට යම් ප්‍රශ්නයක්‌ ඇති වුණේ නම් ඊට තමන් සමාව ඉල්ලා සිටින බවත් එය පටිගත වී ඇති අයුරු නරඹා යම් තීරණයක්‌ ගන්නා ලෙසත් විපක්‍ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (20 වැනිදා) පාර්ලිමේන්තුවේදී කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය. ප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානයේ මන්ත්‍රී ටිරාන් අලස්‌ මහතා සභාවේ අදහස්‌ දක්‌වන විට තමන් ගැන සඳහන් කළ ප්‍රකාශ පිළිබඳව අදහස්‌ දැක්‌වීමට මූලාසනයෙන් ඉල්ලා සිටියද ඊට ඉඩ නොලැබුණු බවද කී විපක්‌ෂ නායකවරයා අයවැය කාරක සභා අවස්‌ථාවකදී එලෙස කළ හැකි බවද කීය.

පාර්ලිමේන්තු විවාදයන්හිදී මන්ත්‍රීවරයකුට අදහස්‌ ප්‍රකාශ කිරීමට කාලය වෙන් කරන්නේ ආණ්‌ඩු පක්‌ෂ සංවිධායක සහ විපක්‌ෂ ප්‍රධාන සංවිධායක විසින් පමණක්‌ බවත් ටිරාන් අලස්‌ මන්ත්‍රීවරයා කතා කරන විට මූලාසනය විසින් අමතර විනාඩි 05 ක්‌ ඔහුට ලබා දුන් බවත් විපක්‌ෂ නායකවරයා චෝදනා කළේය.

මූලාසනයේ කටයුතු කිරීම උදෙසා සභාපති නාමාවලියට මන්ත්‍රීවරුන් පත් කිරීමේදී මන්ත්‍රී වරප්‍රසාද ආරක්‌ෂා කළ යුතු බවද එලෙස කටයුතු කිරීමෙන් තම වගකීම ඉටු නොවන බැවින් එම සභාපති නාමාවලිය පත් කිරීමේදී සැමටම විශ්වාස කළ හැකි මන්ත්‍රීවරුන් පත් කරන ලෙසද විපක්‌ෂනායක වරයා කථානායකවරයාගෙන් ඉල්ලා සිටියේය.

එහිදී සභාවේ වූ සිද්ධිය පිළිබඳව සොයා බැලීම සඳහා පටිගත වී ඇති දර්ශන නරඹා තීරණයක්‌ ගන්නා ලෙසද කථානායකවරයාට කළ නොහැකි වූ දෙයක්‌ තමා විසින් කළ බැවින් ටිරාන් අලස්‌ මන්ත්‍රීවරයාට ගිනස්‌ වාර්තා පිහිටුවීමේ අවස්‌ථාව වැළකුණු බවද රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කීය. 




Gossip Lanka Hot News Previous News Archive