"අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් මම දිවුරනවා. මට සමාව දෙන්න" - මුම්බායි මිනීමරුවා පෝරකයේදී

මොහොමඩ් අඡ්මාල් අමීර් කසාබ් 1987 සැප්තැම්බර් 13 වැනි දින පාකිස්‌ථානයේ µරිඩ්කොට්‌ ගම්මානයේ උපත ලැබීය. දුප්පත් පවුලක උපන් කසාබ් 2005 වසරේදී සිය පියා සමග ආරවුලක්‌ ඇතිකරගෙන ගමෙන් පිටවිය. මුස්‌ලිම් අවුරුද්ද වෙනුවෙන් තමාට අලුත් ඇඳුම් අවශ්‍යයෑයි අඡ්මාල් ඉල්ලුවද එය ඉටුකිරීමට පියාට නොහැකි වූයේ ඔහුගේ ආර්ථික අපහසුකම් නිසාය. එයින් පසු ලාහෝරයට යන ඔහු පාතාල සාමාජිකයෙක්‌ වෙයි. 2005 දී පියා සමග ගැටුමක්‌ ඇති කරගෙන නිවසින් පිටවී ගිය අඡ්මාල්ගේ ඉරණම විසඳුණේ ඉකුත් 21 වැනිදා පූනේහි යෙර්වාඩා සිරගෙදරදීය. ඇත්තෙන්ම මේ අඡ්මාල් කසාබ් යනු දැන් ලොවම දන්නා ත්‍රස්‌තවාදියෙකි
.

2008 මුම්බායි ප්‍රහාරය සඳහා පැමිණ "ලක්‌ෂාර් ඊ ටයිබා" සාමාජිකයන් දස දෙනා අතරින් ඉන්දීය ආරක්‍ෂක බලධාරීන්ට ජීවග්‍රහයෙන් අල්ලා ගැනීමට හැකිවූ එකම තැනැත්තා මොහුය. අනෙක්‌ සියලුÊදෙනාම මරණයට පත්විය. කසාබ් ඇතුළු කණ්‌ඩායම එල්ල කළ ප්‍රහාරයෙන් 166 දෙනෙක්‌ මිය ගිය අතර ඉන්දියාවට එරෙහි යුද්ධයක්‌ සිදුකිරීම, කුමන්ත්‍රණය කිරීම, මිනිමැරීම් ආදි චෝදනා අසූවකට මොහු වරදකරු වූ අතර එම නිසා 2010 මැයි 06 වැනිදා මුම්බායි අධිකරණයක්‌ විසින් මොහුට මරණ දඬුවම නියම කරනු ලැබීය. මෙම දඬුවම ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මගින්ද තහවුරු කරනු ලැබූ අතර මරණ දඬුවම ඉවත් කරන ලෙස ඉන්දීය ජනපතිට යෑවූ ඉල්ලීම්ද ප්‍රතික්‌ෂේප කරනු ලැබූ නිසා ඉකුත් බදාදා දින පෙ. ව. 7.30 ට මුම්බායි ප්‍රහාරයේ විත්තිකරුවා එල්ලා මරණ ලදී.

කසාබ් මුම්බායිහි පිහිටි බන්ධනාගාරයේ සිට පූනේ යෙර්වාඩා වෙත ගෙන යනු ලැබුවේ අඟහරුවාදා උදැසනය. ඉන්දීය කමාන්ඩෝ භටයන්ගේ ආරක්‍ෂාව යටතේ වාහන හයකින් යෙර්වාඩා බන්ධනාගාරය වෙත කසාබ් රැගෙන ගිය අතර ඔහු රැගෙන ගියේ අත්වලට මාංචු දමාය. මේ ගමනේදී මේ පුද්ගලයා යම් කලබලකාරී ගතියකින් හැසිරී ඇත. යෙර්වාඩා හි සවස 5 ට පමණ මොහු වෛද්‍ය පරීක්‍ෂණයකට භාජනය කරනු ලැබූ අතර එහිදී එල්ලා මැරීම සඳහා කසාබ්ගේ බර කිලෝ 52.5 ක්‌ වූ අතර රුධිර පීඩනය සාමාන්‍ය තත්ත්වයේ එනම් 120/80 අතර පැවතිණි. මානසික වෛද්‍යවරයා විසින්ද මොහුව පරීක්‌ෂාකර බැලූ අතර එහිදීද කසාබ් කිසිම පීඩනයකින් සිටින බව හෙළි වූයේ නැත. බන්ධනාගාර අධිකාරි විසින් "තමා හෙට එල්ලා මරණ බව" මේ සිරකරුවාට දැනුම් දුන්නේද අඟහරුවාදා දිනයේය. එහෙත් ඔහු කිසිදු කලබලයකට පත්වූ බවක්‌ පෙනෙන්නට නොවූ අතර තම සිරකුටියට වී සින්දු කියමින් සිටි බව එහි ආරක්‍ෂකයන් පවසා ඇත. කෙසේ නමුත් අඟහරුවාදා රාත්‍රියේ කසාබ් නිදාගෙන නැති අතර රාත්‍රිය පුරාම අවදියෙන් සිට ඇත. අළුයම හතරට මොහුව එල්ලා මැරීම සඳහා සූදානම් කර ඇති අතර එහිදී කෑමට අවශ්‍ය කුමක්‌ දැයි බන්ධනාගාර නිලධාරීන් ප්‍රශ්නකර තිබේ. එවිට "මට තක්‌කාලි කන්න ඕන" යෑයි පවසා ඇත. ඔහුට තක්‌කාලි පිරවූ භාජනයක්‌ම ලබාදී ඇති අතර පෙ. ව. 6 ට පමණ එක්‌ තක්‌කාලි ගෙඩියක්‌ පමණක්‌ ආහාරයට ගෙන ඇත. එයින් පසුව කුරානය කියවා ආගමික වතාවත්වල නිරතවූ කසාබ් නැවත වරක්‌ වෛද්‍ය පරීක්‍ෂණයකට ලක්‌ කර ඇත. එයින් පසුව ඔහුගේ අවසන් ඉල්ලීම කුමක්‌දැයි විමසා ඇත. එහිදී කසාබ් "ගර්වාලෝන් කො මිල්නා හායි" එනම් මට මගේ පවුලේ උදවිය හමුවෙන්න ඕනෑ යෑයි පවසා ඇත. කසාබ්ගේ පවුලට මේ තොරතුරු දන්වන්නැයි මීට පෙර පාකිස්‌ථාන ආණ්‌ඩුවට දැනුම් දුන්නද ඒ ගැන කිසිම ප්‍රතිචාරයක්‌ නොවූ බව මෙහිදී බන්ධනාගාර නිලධාරීන් දැනුම් දී ඇත. තවත් මොනවත් අවශ්‍යදැයි ප්‍රශ්න කළ විට ඔහු නිහඬ වී තිබේ.

පෙ. ව. 7.20 ට කසාබ් පෝරකය වෙත රැගෙන ගොස්‌ ඇති අතර එතැනදී ඔහුගේ දැත් හා දෙපා ලණුවකින් බැඳ ඇත. මුහුණට කළු රෙද්දක්‌ දමා බැඳ තොණ්‌ඩුව දමා තිබේ. තොණ්‌ඩුව දැමූ විට මේ පාකිස්‌ථානු ජාතිකයා නොනවත්වා කතා කරමින් තමන්ට සමාව දෙන ලෙස ආයාචනා කර ඇති බව ටයිම්ස්‌ ඔµa ඉන්දියා පුවත්පත කීය.

"අල්ලාහ් දෙවියන්ගේ නාමයෙන් මම දිවුරනවා. මට සමාව දෙන්න මම මේ වගේ වැරදි තවත් කරන්නේ නැහැ"

යනුවෙන් පවසද්දී කසාබ්ගේ ගෙලට තොණ්‌ඩුව සිරවී ඇත. ටික වේලාවක්‌ සිරුර පෝරකයේ එල්ලෙමින් තිබී ඇති අතර විනාඩි කිහිපයකට පසුව මිනිය බා වෛද්‍යවරයකු විසින් පරීක්‌ෂා කර ඇති අතර එහිදී ඉන්දියාවම හෙල්ලු මේ ත්‍රස්‌තවාදී තරුණයා මියගොස්‌ ඇති බව වෛද්‍යවරයා විසින් තහවුරු කර ඇත. පෙ. ව. 9.30 ට පමණ බන්ධනාගාර පරිශ්‍රයේම මොහුගේ සිරුර භූමදානය කර ඇත. යෙර්වාඩා බන්ධනාගාර බලධාරීන් ප්‍රකාශ කර තිබුණේ කසාබ්ට මරණ දඬුවම ලබාදුන් අලුගෝසුවා මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ මුස්‌ලිම්වරයකු බවත් 19 වැනිදා සිට මොහුව මේ කාර්යය සඳහා සුදානම් කර එය ඉතා රහසිගතව ක්‍රියාත්මක කළ බවය. ඇත්තෙන්ම මේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අතිශය රහස්‌ කටයුත්තක්‌ සේ සිදුකරන ලදී. මේ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමෙන් පසුව මහරාෂ්ට්‍ර ස්‌වදේශ කටයුතු ඇමැති ආර්. ආර්. පටිල් ප්‍රකාශ කර සිටියේ මේ මරණ දඬුවම ලබාදීම මුම්බායි ප්‍රහාරයෙන් මියගිය අයට කරන උපහාරයක්‌ වන බවයි.

අඡ්මාල් කසාබ් ඉන්දීය බලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරන විට මොහු පකිස්‌ථාන පුරවැසියකු නොවේ යෑයි එරට ජනපති අසීµa අල් සර්දාරි ප්‍රකාශ කර සිටියේය. ඔහු එවැනි ප්‍රකාශයක්‌ සිදුකළේ මුම්බායි ප්‍රහාරය පිටුපස පාකිස්‌ථාන රජය සිටිනවා යෑයි යන චෝදනාවෙන් ගැලවීමටය. නමුත් 2009 වසරේදී පාකිස්‌ථානු ජාතික ආරක්‍ෂක උපදේශක මහමුඩ් අලි දුරානි විසින් කසාබ් පාකිස්‌ථාන ජාතිකයෙක්‌ බව පිළිගත්තේය. මුම්බායි ප්‍රහාරය සමග ලොව පුරා ප්‍රචාරය වූ ප්‍රකටම ඡායාරූපය වූයේ අඡ්මාල් කසාබ් චාත්‍රපති සිවාජි දුම්රිය ස්‌ථානයේ ඒ. කේ. 47 වර්ගයේ තුවක්‌කුවක්‌ රැගෙන සිටින අයුරුයි. මෙය ආරක්‍ෂක කැමරාවල සටහන් වූවකි. කසාබ් සමග සිටි අනෙක්‌ ප්‍රහාරකයා වූයේ 25 හැවිරිදි අබුදේරා ස්‌මයිල් ඛාන්ය. පොලිසිය සමග ඇතිවූ ගැටුමේදී ස්‌මයිල් ඛාන් මරණයට පත්ව ඇති අතර කසාබ් අත්අඩංගුවට පත්විය.

ඇත්තෙන්ම මුම්බායි ප්‍රහාරය සඳහා කසාබ් සමග තවත් පුද්ගලයන් 24 දෙනෙක්‌ පාකිස්‌ථානයේ ත්‍රස්‌ත කඳවුරක පුහුණු කර ඇති අතර මේ පුහුණුවෙන් පසු දසදෙනෙක්‌ පමණක්‌ ප්‍රහාරය සඳහා තෝරාගෙන තිබේ. මේ ප්‍රහාරයට සම්බන්ධ වීමට උපහාරයක්‌ ලෙස ලක්‌ෂාර් ඊ. ටයිබා සංවිධානයේ ප්‍රධානියෙක්‌ වන සකී උර් රෙහමාන් ලක්‌වි විසින් අඡ්මාල් කසාබ්ගේ දෙමවුපියන් වෙත රුපියල් 150,000 ක්‌ ලබාදී ඇත.

2008 දී එල්ලවූ මුම්බායි ප්‍රහාරය නිසා ඉන්දියාවම බලවත් අර්බුදයකට ලක්‌වූ බව පැහැදිලිය. ඉන්දියාවේ 9/11 ප්‍රහාරය ලෙස හැඳින්වූයේ මුම්බායි ප්‍රහාරයයි. මේ සමගම ඉන්දියාව හා පාකිස්‌ථානය අතර නැවත යුද්ධයක්‌ ඇවිළෙන තරමට දෙපාර්ශවයම උණුසුම් විය. හින්දු දැඩි මතධාරීන් ප්‍රකාශ කර සිටියේ ඉන්දීය ප්‍රහාරක ගුවන් යානා යොදාගෙන පාකිස්‌ථානයේ ත්‍රස්‌ත කඳවුරුවලට පහරදිය යුතු බවයි. කෙසේ නමුත් යුද්ධයක්‌ ඇතිවූයේ නැත. 2008 දී මේ දෙරට අතර යුද්ධයක්‌ ඇති වූවානම් එය දකුණු ආසියානු කලාපයම අවුලකට ඇද දමන තත්ත්වයක්‌ වනු ඇත. අවසානයේ අඡ්මාල් කසාබ්ද අවසන් ගමන් ගියේ මුම්බායි ප්‍රහාරය ඉතිහාස පොතට එක්‌කරමිනි.

Gossip Lanka Hot News Previous News Archive